ශ්‍රී ලංකාවෙන් පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් වසර ගණනාවක් පුරා මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක් මෙහෙයවූ බව කියන ලලිත් කන්නංගර හෙවත් 'බස් ලලියා' නැමැත්තා ඩුබායි පොලිසිය විසින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන ඇති බවට එරට ආරංචි මාර්ග වාර්තා කරයි.
ඩුබායි හි සුඛෝපභෝගී හෝටලයක සිය සගයන් කිහිප දෙනෙකු ද සමග සාදයක් පවත්වමින් සිටියදී මෙම පාතාල කල්ලි නායකයා එරට පොලිසියේ ග්‍රහණයට නතු වී ඇති බවට තොරතුරු ලැබී ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද එම හෝටලයේ රැඳී සිට ඇති නමුත්, ඩුබායි පොලිසිය ඔවුන් අත්අඩංගුවට නොගෙන මුදා හැර ඇති බවද වාර්තා වේ.
සැකකාර 'බස් ලලියා' ගේ බිරිඳ සහ දරු දෙදෙනා මීට මාස කිහිපයකට පෙර ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඔහු සමග ජීවත් වී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන පවා නිකුත් කර තිබූ බව මෙරට පාතාල මර්දන අංශවල උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඩුබායි රාජ්‍යයේ සිට මෙම පාතාල නායකයා විසින් අවිස්සාවේල්ල සහ හංවැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන ගණනාවක් මෙන්ම, ව්‍යාපාරිකයන් බිය ගන්වා ලක්ෂ ගණනින් මුදල් කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක් මෙහෙයවා ඇති බවට පරීක්ෂණ මගින් හෙළි වී තිබුණි.
පසුගිය කාලය තුළ අවිස්සාවේල්ල, මීගොඩ සහ හංවැල්ල යන ප්‍රදේශවලදී නිවුන් සහෝදරයන් දෙදෙනකු අවස්ථා දෙකකදී ඝාතනය කිරීම සහ ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බණාශාන්ත' නමැති හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මීගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීම ද මොහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා අතර වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval