වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු මෙන්ම මාතර නීතිඥ සංගමයේ නීතිඥවරයකු ද වන තාරක නානායක්කාර මහතා, තමා දැරූ එම සංගමයේ විධායක කමිටු සංස්කාරක ධුරයෙන් පෙරේදා (18) දින ඉල්ලා අස්වී තිබේ. ගල්කිස්ස අධිකරණ භූමියේදී මෑතකදී ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමට අදාළ නඩුවේදී,
පොලිස් කොස්තාපල්වරයකු වෙනුවෙන් ඇප ලබා ගැනීමට ඔහු පෙනී සිටීම මෙම ඉල්ලා අස්වීමට පාදක වී ඇති බව පැවසේ.මෙම නඩුවේදී චෝදනාවට ලක්වූයේ තවත් නීතිඥවරයකු වන ගුණරත්න වන්නිනායක මහතා වීම හේතුවෙන්,
පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තාරක නානායක්කාර මහතාට සෙසු නීතිඥවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවට තොරතුරු වාර්තා වේ. ඔහුට මාතර නීතිඥ සංගමයේ විධායක කමිටු ධුරයෙන් මෙන්ම සංගමයේ සාමාජිකත්වයෙන් ද ඉවත් වන ලෙසට බලපෑම් එල්ල වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා මාතර නීතිඥ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් ද කැඳවා තිබී ඇත. එම අවස්ථාවේදී නීතිඥ තාරක නානායක්කාර මහතා සිය විධායක කමිටු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත්, ඔහු මාතර නීතිඥ සංගමයේ සාමාජිකයකු ලෙස තවදුරටත් කටයුතු කරන අතර, සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී නොමැති බවද තහවුරු වේ.
මේ පිළිබඳව විමසීමකදී නීතිඥ තාරක නානායක්කාර මහතා ප්‍රකාශ කළේ,
අදාළ පොලිස් කොස්තාපල්වරයා තමා දන්නා හඳුනන පවුලක සාමාජිකයකු වූ බැවින් සහ කොළඹ නීතිඥ සංගමයේ ලේකම්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව තමා එම නඩුවට පෙනී සිටි බවය. තවද, තමා මාතර නීතිඥ සංගමයේ විධායක කමිටුවෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් මත බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මාතර නීතිඥ සංගමයේ සභාපති, ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති ධනුෂ්ක මහතාගෙන් මේ ගැන විමසූ විට, නීතිඥ තාරක නානායක්කාර මහතා විධායක කමිටුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බව සභාපතිවරයා තහවුරු කළේය. එහෙත්, එම ඉල්ලා අස්වීමට හේතුව තමා නොදන්නා බවත්, තනතුරෙන් ඉවත් වීම සඳහා ඔහුට කිසිදු බලපෑමක් සිදු නොවූ බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති ධනුෂ්ක මහතා අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval