a-stock-of-pearls-worth-300-million-is-found-in-an-indigenous-village

 රුපියල් කෝටි 30 කට අධික වටිනාකමකින් යුතු බවට තක්සේරු කළ ගජමුතු තොගයක් සමග ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීහු සමත් වූහ. විල්පත්තුව, රිටිගල සහ මහියංගනය වනජීවී කාර්යාලවල නිලධාරීන් ඒකාබද්ධව දියත් කළ මෙම විශේෂ මෙහෙයුම ඉකුත් 17 වන දා මහියංගනය ආදිවාසී ගම්මානයේදී සිදු කර තිබේ.

ආරක්ෂක අංශ වෙතින් ලද බුද්ධි තොරතුරක් මත මාස කිහිපයක් තිස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම ක්‍රියාත්මක කළ බව මෙහෙයුමට එක්වූ නිලධාරීහු ප්‍රකාශ කළහ.

මෙය මෙරට ඉතිහාසයේ එකම ස්ථානයකදී අත්අඩංගුවට ගත් විශාලතම ගජමුතු තොගය ලෙස සැලකේ. අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ගජමුතු 30ක්, දිවියකුගේ සමේ කොටස්, ඇත් දළ කැබලි, දිවි තෙල්, කරුවල ශාක කොටස් සහ දේශීයව නිෂ්පාදිත ගිනි අවියක් ද විය. මීට අමතරව, සතුන් ඇල්ලීම සඳහා භාවිත කරන මදු වර්ග, ඇත් දළ යොදා ගනිමින් නිමවන ලද බුදු පිළිම ඇතුළු විවිධ ආයිත්තම් සහ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ දැඩි ලෙස ආරක්ෂිත ශාකයක් වන දඹ ශාකයේ කොටස් ද සැකකරු සතුව තිබී සොයා ගැනිණි.


මෙම මහා පරිමාණ ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ආසන්න මහියංගනය ආදිවාසී ගම්මානයේදී අත්අඩංගුවට පත් විය.

අදාළ වැටලීම සිදු කිරීම සඳහා වනජීවී නිලධාරීන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් ලෙස වෙස් වළාගෙන කටයුතු කර තිබීම විශේෂත්වයකි. ව්‍යාපාරිකයන් පිරිසකගේ ද සහාය ලබා ගනිමින්, ජාවාරම්කරුට පෙන්වීම සඳහා විශාල මුදල් තොගයක් ද රැගෙන ගොස්, ඔහුගේ විශ්වාසය දිනා ගැනීමෙන් අනතුරුව මෙම සැකකරු උපක්‍රමශීලීව අත්අඩංගුවට ගෙන ඇත.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ණ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර, ඒ සඳහා අනුරාධපුර සහකාර වනජීවී අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න, මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ එස්.ජී. වික්‍රමතිලක, රිටිගල අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ, අඩවි සහකාර ඒ.ඩී. විජේසිංහ, එච්.එම්. අධිකාරි, එස්.ආර්.එම්. අධිකාරි, වන සත්ව නියාමකවරුන් වන සම්පත් ඩී. රණවීර සහ සමන් සෙනවිරත්න යන නිලධාරීහු එක්ව සිටියහ. තවද, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කුකුල්කටුව බිට්ටු භාර අඩවි සහකාර උදය කරුණානායක සහ ගිරාඳුරුකෝට්ටේ වන සත්ව නියාමක ඩබ්ලියු.එම්.ජී. සඳනුවන් යන මහත්වරු ද මෙම වැටලීමට දායකත්වය ලබා දුන්හ. අත්අඩංගුවට පත් සැකකරු වනජීවී නිලධාරීන්ගේ භාරයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

gossiplanka image 1
gossiplanka image 2



gossiplanka image 3