police-arrest-robbery-suspect-who-tied-up-womans-hands-and-feet-in-bemmulla-house

 බෙම්මුල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවක් අත් පා බැඳ දමා සිදුකළ කොල්ලයකට සම්බන්ධ සැකකාරියක සහ ඇගේ පුත්‍රයා ඇතුළු සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක් රට පුරා විහිදුණු මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමට බෙම්මුල්ල පොලිසිය සමත් වී තිබේ. බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ සෘජු මෙහෙයවීම යටතේ සිදුකළ මෙම විමර්ශනය ගම්පහ දිස්ත්‍රික්කයේ අපරාධ මර්දනය සඳහා පොලිසිය දරන වෙහෙසට සාක්ෂියකි.



පසුගිය 27 වන දා රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව, බෙම්මුල්ල, වනමල් උයන ප්‍රදේශයේ දෙමහල් නිවසකට ඇතුළු වූ කොල්ලකරුවන් එහි සිටි 54 හැවිරිදි කාන්තාව බැඳ දමා දේපළ පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා විය. සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිසිය, නිවැසි කාන්තාව මුදාගෙන ප්‍රශ්න කිරීමේදී, රාත්‍රී 1.00ට පමණ පැමිණි දෙදෙනෙකු තමන් සහ තම 7 හැවිරිදි මුණුපුරා නිවසේ සිටියදී තමන්ව බැඳ දමා රන් ආභරණ සහ ජංගම දුරකථන දෙකක් කොල්ලකා පලා ගිය බවට ඇය ප්‍රකාශ කර ඇත.



විමර්ශනවලදී පොලිසියේ මූලික අවධානය යොමු වූයේ, සිද්ධියට මාස එකහමාරකට පමණ පෙර නිවසේ සේවයට පැමිණ, මංකොල්ලයෙන් පසු අතුරුදන්ව සිටි මෙහෙකාරිය වෙතටය. මීගමුවේ නියෝජිත ආයතනයක් හරහා සේවයට පැමිණි ඇය පිළිබඳව එම ආයතනයේද කිසිදු ලිඛිත තොරතුරක් නොතිබූ අතර, ඇය හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිකාරියක බවට පමණක් තොරතුරු ලැබී තිබිණි.

ඒ අනුව හඟුරන්කෙත පොලිසිය හා සම්බන්ධ වෙමින් සිදුකළ විමර්ශනවලදී, මෙම කාන්තාව විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තු 10ක් නිකුත් කර සිටින, ප්‍රදේශය හැර ගිය තැනැත්තියක බව අනාවරණය විය. කොල්ලකන අවස්ථාවේදී එක් කොල්ලකරුවෙකු අනෙකාට "සමීර" යනුවෙන් ඇමතූ බවට නිවැසි කාන්තාව කළ ප්‍රකාශයත් සමග, හඟුරන්කෙත ප්‍රදේශයේදී මෙහෙකාරියගේ පුත්‍රයාගේ නම "සමීර" බවට හෙළිවීම විමර්ශනවල තීරණාත්මක සන්ධිස්ථානයක් විය.

සමීර නැමැත්තා, එප්පාවල විහාරස්ථානයක හිමිනමක් ඝාතනය කිරීම සහ තවත් මංකොල්ලකෑම් කිහිපයකට චෝදනා ලැබූවෙකු බවට තහවුරු කරගත් පොලිසිය, ඔහු එප්පාවල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසේ රැඳී සිටින බවට තොරතුරු සොයා ගත්තේය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම එප්පාවල නගරයේදී සමීරව අත්අඩංගුවට ගත් අතර, ඔහු සතුව තිබී හෙරොයින්, බෙම්මුල්ලේ නිවසින් සොරාගත් රන් සුරයක් සහ ජංගම දුරකථනයක් සොයා ගැනිණි.



ඔහුගෙන් ලද තොරතුරු මත ඔහුගේ මිතුරා වූ සුධීර සහ මංකොල්ලයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු කිරලෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද තවත් රන් භාණ්ඩ සහ ජංගම දුරකථනයක්ද සොයා ගන්නා ලදී. තම මව ලබාදුන් තොරතුරකට අනුව මෙම මංකොල්ලය සැලසුම් කළ බව සමීර පාපොච්චාරණය කිරීමෙන් අනතුරුව, කුරුණෑගල ප්‍රදේශයට පලා ගොස් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සැඟවී සිටි ප්‍රධාන සැකකාරිය වූ ඔහුගේ මවද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

gossiplanka image 1


gossiplanka image 2