
මෙරට Commercial Bank පෞද්ගලික බැංකුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර, රුපියල් කෝටි පහක මූල්‍ය වංචාවක් සිදුකළ ජාලයකට අදාළ 'බයිනෑන්ස්' ගිණුම් විදේශ රටවල සිට මෙහෙයවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වෙත ඊයේ (02) මෝසමක් ඉදිරිපත් කරමින් විමර්ශන අංශ මෙම කරුණු හෙළිදරව් කරන ලදී.
මෙම සිද්ධියේ මහමොළකරු පිළිබඳව සිදුකළ විමර්ශනවලදී, හොංකොං රාජ්‍යයේ සිට කිසියම් පිරිසක් විසින් මෙම මූල්‍ය වංචාව මෙහෙයවන්නට ඇති බවට කරුණු හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට වාර්තා කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් හයදෙනෙකුගේ රක්ෂිත බන්ධනාගාර කාලය ඔක්තෝබර් 16 වන දා දක්වා දීර්ඝ කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. කෙසේ වෙතත්, අනෙක් සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එහිදී ඉදිරිපත් වූ විශේෂ කරුණු පදනම් කරගනිමින් ඔවුන් ඇප මත මුදා හැරීමට නියම කළේය.
සැකකරුවන් හයදෙනාට ඇප ලබාදීමට විරුද්ධත්වය පළ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඔවුන් ඇප මත නිදහස් වුවහොත් විමර්ශනවලට අදාළ ඩිජිටල් දත්ත විනාශ කර දැමීමේ හැකියාවක් පවතින බවට අධිකරණයට කරුණු දැක්වීය. එම කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඔවුන්ව අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට තීරණය කළේය.
තවද, රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරුවන්ට අයත් බයිනෑන්ස් ගිණුම් සම්බන්ධයෙන් ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත විමර්ශන පියවර පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval