
වසර 17කට පෙර දෙහිවල, නැදිමාල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිස් නිලධාරියෙකු සිය මෝටර් රථයට යටකර මරා දැමීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණය මගින් වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් සුනිමල් කුමාර නැමැති විත්තිකරුට ඊයේ (02) මෙම දඬුවම නියම කළ අතර, ඊට අමතරව රුපියල් දස දහසක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළාය.
2008 වසරේ ජනවාරි 17 වන දින, මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කිරීමට ගොස් ඇත. එම ස්ථානයට පැමිණි විත්තිකරු, නිල ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරියෙකු දැක වාහනය නතර කරන ලෙසට දුන් සංඥා නොසලකා හැර, වීරසිංහ බණ්ඩාර නැමැති නිලධාරියාගේ සිරුරේ මෝටර් රථය හප්පා ඒ මතින් ධාවනය කර පළා යාමට උත්සාහ කර තිබේ.
එසේ පළා යමින් තිබූ මෝටර් රථය මාර්ගයේ ගමන් කළ ලංගම බස් රථයක සහ තවත් බස් රථයක ගැටී නතර වී ඇති අතර, විත්තිකරු මෝටර් රථයේ වීදුරුවකින් පිටතට පැන බස් රථයක ආධාරයෙන් පළා ගොස් තිබුණි. සිද්ධියෙන් සති කිහිපයකට පසුව පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත් විය.
මෙම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියාගේ පාදවල දණහිස් සහ ශරීරයේ අස්ථි බිඳී ගොස් තිබූ අතර, ඔහුට මාස දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදු විය. ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සහ සාක්ෂි අනුව විත්තිකරු චේතනාන්විතව මෙම අපරාධය සිදුකර ඇති බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළාය.
මෙය සාමාන්‍ය රිය අනතුරක් නොව, අත්අඩංගුවට ගැනීමෙන් බේරීමේ අරමුණින් චේතනාන්විතව සිදුකළ අපරාධයක් බව පෙන්වා දුන් විනිසුරුවරිය, මෙවැනි ක්‍රියා නීතියේ ආධිපත්‍යයට එල්ල වන බලවත් තර්ජනයක් බවත්, රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ ජීවිතවලට හානි කිරීම කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකි බරපතළ අපරාධයක් බවත් වැඩිදුරටත් අවධාරණය කළාය.
මෙම අපරාධය සිදුවන විට විත්තිකරුට එරෙහිව වෙනත් චෝදනා නොතිබූ බැවින්, ඔහුට එරෙහිව පසුව ගොනු කළ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ නඩු මෙම දඬුවම නියම කිරීමේදී සලකා නොබැලූ බවද විනිසුරුවරිය ප්‍රකාශ කළාය. සිද්ධියෙන් වින්දිත වූ පොලිස් නිලධාරියා මේ වන විට මියගොස් ඇති අතර, ඔහුගේ පවුලට වන්දියක් ගෙවීමට නියෝග කරන ලෙස රජයේ අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval