one-person-dies-in-a-snake-attack-in-japan

ජපානයේ ඊසානදිග අකිතා ප්‍රාන්තයේ හිගෂිනරුසේ ගම්මානයේදී සිකුරාදා සිදුවූ දරුණු වලස් ප්‍රහාරයකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි දේශීය පොලිසිය වාර්තා කරයි. මෙම ප්‍රහාරය ගම්මාන කාර්යාලයක් ආසන්නයේ සිදුවී තිබේ.



ප්‍රාදේශීය වේලාවෙන් උදෑසන 11:10 ට පමණ හිගෂිනරුසේ නාගරික කාර්යාලයෙන් පොලිසියට හදිසි ඇමතුමක් ලැබී ඇත්තේ වලස් ප්‍රහාරයකින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව දන්වමිනි. නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විට පිරිමින් තිදෙනෙකු සහ කාන්තාවක් රුධිරය වගුරුවමින් බිම ඇද වැටී සිටි අතර, ඔවුන් සියලු දෙනා වහා රෝහල් ගත කර තිබේ.




ප්‍රහාරය සිදුවන අවස්ථාවේ වයස 70 ගණන්වල පසුවන යුවළක් එළිමහනේ සේවය කරමින් සිට ඇති අතර, පළමුව වලසා පහර දී ඇත්තේ ඔවුන්ට බව බලධාරීහු පවසති. අනතුරුව ඔවුන්ව බේරා ගැනීමට පැමිණි තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ද වලස් ප්‍රහාරයට ලක්වී තිබේ. මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු වූ යොෂියුකි සසාකි බවට හඳුනාගෙන ඇත.

සිද්ධියෙන් අනතුරුව, පස්වරු 1:10 ට පමණ ප්‍රදේශයේ දඩයම් සංගමයක් විසින් එම ස්ථානය අසල ගැවසුණු වලසෙකු වෙඩි තබා මරා දමන ලදී. මීටර් 1.2 ක් පමණ දිග මෙම වලසා, සිව්දෙනාට පහර දුන් සත්වයා බවට විමර්ශකයින් විශ්වාසය පළ කරයි.

වලසුන්ගෙන් සිදුවන මිනිස් හානි පිළිබඳ සිදුවීම් ඔක්තෝබර් 25 වැනිදා දිනයේම තවත් ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය. අකිතා නගරයේදී එදින උදෑසන 6.10 ට පමණ, ඇවිදින ව්‍යායාමයේ යෙදෙමින් සිටි 51 හැවිරිදි පුද්ගලයෙකු සෙන්ටිමීටර 50 ක් පමණ කුඩා වලසෙකුගේ පහරදීමකට ලක්ව මුහුණේ තුවාල ලැබීය. එම නගරයේම උදෑසන 7.10 ට පමණ, 60 හැවිරිදි පුද්ගලයෙකු තම නිවස අසල ගඟක් දිගේ ගමන් කරමින් සිටියදී මීටරයක් පමණ උස වලසෙකු විසින් පිට ප්‍රදේශය සීරීමකට ලක් කිරීමෙන් සුළු තුවාල ලබා තිබිණි. මේ අතර, මියාගි ප්‍රාන්තයේදී උදෑසන 6.10 ට, 60 හැවිරිදි කාන්තාවක් සිය නිවසේ දොරටුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී සෙන්ටිමීටර 80 ක පමණ වලසෙකුගේ ප්‍රහාරයකට ලක්ව වම් අතේ තුවාල ලබා ඇත.

ජපානය පුරා මෑතකාලීනව වලස් ප්‍රහාර සම්බන්ධ සිදුවීම් රැසක් වාර්තාවන පසුබිමක මෙම ප්‍රහාරය සිදුවී තිබීම විශේෂත්වයකි. 

gossiplanka image 2
gossiplanka image 3



gossiplanka image 4
gossiplanka image 5