lake-house-in-crisis-as-wijayadasa-rajapaksa-unable-to-pay-rs-130-million-in-compensation

 හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ නඩු තීන්දුවක් අනුව, රුපියල් මිලියන 1300 ක (කෝටි 130 ක) දැවැන්ත වන්දි මුදලක් ගෙවීමට සිදුවීමෙන් ලේක්හවුස් ආයතනය (සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම) බරපතල මූල්‍ය අපහසුතාවකට ලක්ව තිබේ.



මෙම වන්දි මුදල ගෙවීම සඳහා ආයතනය සතුව ප්‍රමාණවත් මුදල් නොමැති වීමත්, මේ සම්බන්ධයෙන් අතරමැදි එකඟතාවක් සඳහා විජයදාස රාජපක්ෂ මහතා මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොතිබීමත් මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත.

ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන මහතා සඳහන් කළේ, එතරම් විශාල වන්දි මුදලක් ගෙවීමේ හැකියාවක් ආයතනයට නොමැති බවයි. මේ තත්ත්වය පිළිබඳව ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ ද, ඒ සඳහා මෙතෙක් පිළිතුරක් ලැබී නොමැති බව ද සභාපතිවරයා තහවුරු කළේය.




සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේ, ලේක්හවුස් ආයතනයේ කොටස් හිමිකම සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා උනන්දුවක් දක්වන බවට මහා භාරකාරවරයා වෙත දැනුම් දී ඇති බවයි. මහා භාරකාරවරයා මේ පිළිබඳ රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී, ගෙවිය යුතු වන්දි මුදල රුපියල් මිලියන 1300 ක් පමණ විය හැකි බව ඔහු පවසා ඇති අතර, කිසිදු එකඟතාවකට කැමැත්තක් දක්වා නොමැති බව ද වාර්තා වේ.

පවතින තත්ත්වය හමුවේ, දීර්ඝ කාලීන බැංකු ණයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඇපකරයක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත්, ඒ සඳහා රජයේ අනුමැතිය අවශ්‍ය වන බවත් සභාපතිවරයා පැවසීය. කෙසේ වෙතත්, ආයතනයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව ද ඔහු සඳහන් කළේය.




ලේක්හවුස් ආයතනය සතු හෝකන්දර ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇති බවට පැතිර යන ආරංචි පිළිබඳ කළ විමසීමකදී සභාපති වරුෂමාන මහතා කියා සිටියේ, අදාළ ඉඩම මේ වන විටත් ණය මුදල් සඳහා බැංකුවලට උකස් කර ඇති බවයි.

විජයදාස රාජපක්ෂ මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව 2009 වසරේදී කොළඹ දිසා අධිකරණයට ගොනු කර තිබූ අතර, 2010 වසරේදී රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙස තීන්දුවක් ලබා දී තිබුණි. ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් 2013 වසරේදී නිෂ්ප්‍රභ වී ඇත.

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය ද 2025 ඔක්තෝබර් 14 වන දින නිෂ්ප්‍රභ කරනු ලැබීය. මුල් තීන්දුව ලබා දුන් 2010 වසරේ සිට වාර්ෂිකව සියයට 12 ක පොලී අනුපාතයක් යටතේ ගණනය කිරීම හේතුවෙන් වන්දි මුදල රුපියල් මිලියන 1300 (කෝටි 130) දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලේක්හවුස් ආයතනයේ වෘත්තීය සමිති විජයදාස රාජපක්ෂ මහතාගෙන් අවස්ථාවක් ඉල්ලා ඇති අතර, ඒ සඳහා දිනයක් ලබා දීමෙන් පසුව එම හමුව අවලංගු කර ඇති බව ද වාර්තා වේ.