ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පැවති අඩු පීඩන කලාපයක් අද (25) දින අලුයම 5.30 වන විට පීඩන අවපාතයක් බවට පත්ව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය මඩකලපුවට කිලෝමීටර් 900ක් පමණ ඊසාන දෙසින්, උතුරු අක්ෂාංශ 10.9 සහ නැගෙනහිර දේශාංශ 89.0 ආශ්‍රිත මුහුදු කලාපයේ ස්ථානගතව පවතින බව එම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
බටහිරට බරව වයඹ දිශාව ඔස්සේ ගමන් කරනු ඇතැයි අපේක්ෂිත මෙම පද්ධතිය, හෙට (26) දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, අනිද්දා (27) වන විට සුළි කුණාටුවක් බවටත් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. අනතුරුව, ඉදිරි පැය 48 ඇතුළත එය අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, උතුරු අක්ෂාංශ 05 ත් 15 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර වන මුහුදු කලාපයේ නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. දැනටමත් එම මුහුදු ප්‍රදේශවල රැඳී සිටින පිරිස් වෙතොත්, හැකි ඉක්මනින් එම කලාපයෙන් ඉවත් වන ලෙසටද දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.
මීට අමතරව, කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා දිවෙන වෙරළට ඔබ්බෙන් වූ නොගැඹුරු මුහුදු තීරයේද ධීවර සහ නාවික කටයුතු වලින් තාවකාලිකව වැළකී සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval