no-decision-on-programs-targeting-gay-tourists-tourism-bureau

සමලිංගික (LGBTQ) විදේශීය සංචාරකයන් ඉලක්ක කරගත් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එවැනි වැඩසටහනක් සඳහා වූ යෝජනාවක්, සලකා බැලීම සඳහා ඉදිරිපත්වූ අනෙකුත් යෝජනා අතර වූවක් පමණක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



ශ්‍රී ලංකාව සියලු තරාතිරම්වල සංචාරකයින් උණුසුම් ලෙස පිළිගන්නා ගමනාන්තයක් බව පෙන්වා දෙන එම කාර්යාංශය,

LGBTQ ප්‍රජාව ඇතුළු සෑම ප්‍රජාවක්ම සමාජයේ වටිනා සහ ගෞරවනීය කොටසක් ලෙස පිළිගන්නා බවද තහවුරු කරයි. රටේ සංචාරක උරුමය ගොඩනැගී ඇත්තේ ජනතාවගේ සුහදශීලීත්වය, සංස්කෘතියේ පොහොසත්කම සහ භූ දර්ශනවල සුන්දරත්වය මත බවද එම නිවේදනයේ සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අනුව, ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය නොසලකා සියලුම ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශීය සංචාරකයින්ට සමානාත්මතාවය සහතික කිරීමට රජය කැපවී සිටින බවද එම නිවේදනය අවධාරණය කරයි.



කෙසේ වෙතත්, සියලු ප්‍රජාවන්ගේ පුද්ගලික අනන්‍යතාවට ගරු කිරීම, කිසියම් විශේෂිත ලිංගික හැසිරීමක් හෝ ක්‍රියාකාරකමක් අනුමත කිරීමක් හෝ ප්‍රවර්ධනය කිරීමක් ලෙස වරදවා වටහා නොගත යුතු බවද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙයි. අදාළ යෝජනාව ගෝලීය මට්ටමේ විවිධ පාර්ශ්ව සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමේ එක් ප්‍රයත්නයක් ලෙස ඉදිරිපත් වූවක් වන අතර, එය රජයේ සමස්ත සංචාරක ප්‍රතිපත්තියේ උපායමාර්ගික වෙනසක් පෙන්නුම් නොකරන බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.