වසර ගණනාවක් පුරා විමර්ශනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ෂියක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වී තිබේ. තාජුඩීන්ගේ රථය පසුපස හඹා ගිය බවට සැකකෙරෙන මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයෙකු, පසුකලෙක ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් "කජ්ජා" බවට
ඔහුගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ප්‍රකාශ කළේය.බත්තරමුල්ලේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා, "කජ්ජා" ගේ බිරිඳ ස්වේච්ඡාවෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලබාදුන් ප්‍රකාශයකදී මෙම හෙළිදරව්ව සිදුකළ බව සඳහන් කළේය. තාජුඩීන් ඝාතනය සිදුවූ දින රාත්‍රියේ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ සීසීටීවී දර්ශන නැරඹීමෙන් අනතුරුව, තම සැමියාගේ අංග ලක්ෂණ සහ කොන්දේ ආබාධයක් හේතුවෙන් කොන්දට අත තබාගෙන සිටින ඉරියව්ව මගින් ඇය ඔහුව නිශ්චිතව හඳුනාගෙන තිබේ.
2012 වසරේ මැයි මාසයේදී රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පිළිස්සෙමින් තිබූ මෝටර් රථයක් තුළ තිබී හමුවිය. එකල පොලිස් පරීක්ෂණ මගින් එය රිය අනතුරක් ලෙස වාර්තා වුවද, ญาතීන්ගේ බලවත් ඉල්ලීම මත 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවත විමර්ශන ආරම්භ කර එය මිනීමැරුමක් බවට අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෑතකදී මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ "කජ්ජා" නමැත්තා, 2023 වසරේදී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් හෙළිකර තිබිණි. ඔහුගේ බිරිඳ පවසන පරිදි, "කජ්ජා" ඝාතනයට ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් "බැකෝ සමන්" නැමැත්තා සෘජුවම සම්බන්ධ බවට ඇය තොරතුරු හෙළිකර ඇත. මෙම නව හඳුනාගැනීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් නැවත ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval