media-conference-by-the-principals-association-regarding-the-cover-up-of-abuse-in-mahanama

 කොළඹ මහානාම විදුහලේ සිදුවූවා කියන ළමා අපයෝජන සිද්ධිය මේ වන විට ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය හමුවේ, විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය අද (23) දින මාධ්‍ය හමුවක් කැඳවමින් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ගේ වගකීම සහ සිය සංගමයේ ස්ථාවරය පැහැදිලි කරන ලදී.



එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා ප්‍රකාශ කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව විදුහල්පති සංගමයක් ලෙස තමන් දැඩි නොසතුටකින් පසුවන බවයි. කෙසේ වෙතත්, රටේ සමස්ත පුරවැසියන්ගේ දෝෂ දර්ශනයට ලක්ව සිටින මෙම විදුහල්පතිවරයා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරියෙකු නොවන බවද ඒ මහතා මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය.




විදුහල්පති සේවයේ නොවන නිලධාරියෙකු වුවද, මෙම බරපතල අපරාධය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමට කටයුතු කළ බවට සහ සිද්ධිය වාර්තා වී කලක් ගතවන තුරුත් නිසි පියවර ගෙන නොමැති බවට විදුහල්පතිවරයාට චෝදනා එල්ල වීම සමස්ත විදුහල්පති ප්‍රජාවටම ලැජ්ජාවට කරුණක් බව මුදුන්කොටුව මහතා සඳහන් කළේය. සිද්ධියට අදාළ සාක්ෂි මේ වන විට අතුරුදහන් වෙමින් පවතින බවට සමාජ මාධ්‍ය වාර්තා පළවන බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම සිදුවීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය පිළිබඳවද ප්‍රශ්නයක් මතුවන බව පැවසූ ප්‍රධාන ලේකම්වරයා, අමාත්‍යාංශය මේ සඳහා පියවර ගැනීමට අනවශ්‍ය ලෙස ප්‍රමාද වී ඇති බවට චෝදනා කළේය. අමාත්‍යාංශ නිලධාරීන්ගේ වගකීම විය යුත්තේ තම සේවයේ නිලධාරීන් ආරක්ෂා කිරීම නොව, දරුවන් ආරක්ෂා කිරීම බවත්, දරුවන් ගැන කතා කරන අමාත්‍යාංශය සිය වගකීම පෙන්වීමට අපොහොසත් වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.




අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට එක් ආකාරයකටත්, විදුහල්පති සේවයේ නිලධාරීන්ට තවත් ආකාරයකටත් සලකන බවටද මෙහිදී චෝදනා එල්ල විය. මෑතකදී නුගේගොඩ පාසලක ඇතිවූ ගැටුමකදී, විමර්ශන වාර්තාවෙන් නිලධාරීන් දෙදෙනාම මාරු කිරීමට නිර්දේශ කර තිබියදීත්, විදුහල්පති සේවයේ නිලධාරියා පමණක් මාරු කර අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියා එම ස්ථානයේම තබා ගැනීමට අමාත්‍යාංශය කටයුතු කළ බවට ඔහු උදාහරණයක් ගෙනහැර දැක්වීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද (23) දිනයේදීම අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි තීරණයක් රටට දැනුම් දිය යුතු බවද නිමල් මුදුන්කොටුව මහතා අවධාරණය කළේය. සාක්ෂි අතුරුදහන් වන බවටත්, විමර්ශන සඳහා තොරතුරු දිය යුතු නිලධාරීන් නිවාඩු දමා ඇති බවටත් වාර්තා වන පසුබිමක, විදුහල්පතිවරයාගේ බලපෑමක් ඇති බවට සැකයක් මතුවන බැවින්, ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව වහාම එම නිලධාරියාව එම සේවා ස්ථානයෙන් ඉවත් කළ යුතු බවද විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.

කෙසේ වෙතත්, මෙම එක් සිදුවීමක් පාදක කරගනිමින් රටේ සමස්ත විදුහල්පතිවරුන් දෙසම අප්‍රසාදයෙන් නොබලන ලෙසත්, රටේ බහුතරයක් විදුහල්පතිවරුන් දැඩි වගකීමකින් කටයුතු කරන බවත් සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.