15-year-old-student-who-stabbed-classmate-to-death-during-break-sentenced-to-life-in-prison

එංගලන්තයේ ෂෙෆීල්ඩ්හි ඕල් සෙන්ට්ස් කතෝලික උසස් විද්‍යාලයේදී සිය සම වයසේ සිසුවෙකු වූ 15 හැවිරිදි හාවි විල්ගූස් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ 15 හැවිරිදි මොහොමඩ් උමාර් ඛාන් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කර තිබේ. 2025 ඔක්තෝබර් 22 වන දින මෙම දඬුවම ප්‍රකාශයට පත් කළ එලන්බොගන් විනිසුරුතුමිය, ඛාන් විසින් අවම වශයෙන් වසර 16ක කාලයක් සිරගතව සිටිය යුතු බවට නියෝග කළාය. සිර දඬුවම අවසන් කිරීමෙන් පසුවද, ඛාන් හට සිය ජීවිත කාලය පුරාම බලපත්‍රයක් යටතේ සිටීමට සිදුවනු ඇත.



විත්තිකරුගේ වයස සලකා මීට පෙර ඔහුගේ අනන්‍යතාව වාර්තා කිරීම තහනම් කර තිබුණද, මාධ්‍ය ආයතනවල ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරිය එම නියෝගය ඉවත් කිරීමට තීරණය කළාය. විනිසුරු එලන්බොගන් මහත්මිය ප්‍රකාශ කළේ, වයස පමණක් අනන්‍යතාව අඛණ්ඩව වසන් කිරීමට හේතුවක් නොවන බවත්, මෙවැනි බරපතළ ගණයේ වැරදි සිදු කරන්නන් කවුරුන්දැයි දැන ගැනීමට මහජනතාවට උනන්දුවක් පවතින බවත්ය.

මෙම ඛේදජනක ඝාතනය 2025 වසරේ පෙබරවාරි මස 3 වන දින, පාසලේ දිවා ආහාර විවේකය අතරතුරදී සිදුවී තිබුණි. පාසල් වත්තේදී ඛාන් විසින් හාවි විල්ගූස්ගේ පපුවට දෙවරක් පිහියෙන් ඇන තිබූ අතර, ඉන් එක් පහරක් ඉළ ඇට බිඳගෙන හදවතටම කිඳා බැස තිබූ බව අධිකරණයේදී හෙළි විය. මෙම ප්‍රහාරය සඳහා සෙන්ටිමීටර් 13ක් දිග දඩයම් පිහියක් භාවිත කර තිබුණි.

මෙම ප්‍රහාරයට දින කිහිපයකට පෙර, එනම් ජනවාරි 29 වන දින, පාසල තුළ හටගත් වෙනත් සිදුවීමක් හේතුවෙන් පාසල කෙටි කලකට වසා දැමීමට (ලොක්ඩවුන්) පවා සිදුවී තිබිණි. සමාජ මාධ්‍ය ඔස්සේ හටගත් ආරවුලක් සහ පාසලේ ප්‍රතිවාදී ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර පැවති නොසන්සුන්කාරී වාතාවරණයක් මෙම ඝාතනයට මුල් වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.




කළු පැහැති හුඩියක් හැඳ අධිකරණයට පැමිණ සිටි මොහොමඩ් ඛාන් අමතමින් විනිසුරුවරිය, ඔහු ආත්මාරක්ෂාව සඳහා මෙම ක්‍රියාව සිදු කළේ ය යන තර්කය තරයේ ප්‍රතික්ෂේප කළාය. හාවි විසින් ඛාන්ව කෝප ගැන්වෙන යමක් පවසා තිබිය හැකි වුවද, හාවිගෙන් සැබෑ තර්ජනයක් එල්ල නොවූ බවත්, "මිත්‍රත්වයට කළ ද්‍රෝහීකමක්" ලෙස ඛාන් සැලකූ දෙයක් මුල් කරගෙන ඇති වූ "වේදනාව සහ කෝපය" මත මෙම අපරාධය සිදු කර ඇති බවත් විනිසුරුවරිය පෙන්වා දුන්නාය. දඬුවම ප්‍රකාශයට පත් කරන මොහොතේ ඛාන් කිසිදු හැඟීමක් හෝ පසුතැවීමක් නොපෙන්වූ බවද වාර්තා විය.

නඩු විභාගය සඳහා ඉදිරිපත් වූ පාසලේ CCTV දර්ශනවල, ඛාන් විසින් කොරිඩෝවකදී හාවිව තල්ලු කරනු ලබන අයුරුත්, පසුව ඔහු දඩයම් පිහිය අතට ගන්නා අයුරුත් සටහන්ව තිබිණි. මීට අමතරව, ඛාන්ගේ ජංගම දුරකථනයේ තිබී ඔහු පිහි සහ වෙනත් ආයුධ සමග පෙනී සිටින ඡායාරූප සහ වීඩියෝ පට මෙන්ම, ප්‍රහාරයට පෙර ඔහු අන්තර්ජාලය ඔස්සේ ආයුධ පිළිබඳව තොරතුරු සෙවූ බවට සාක්ෂිද ජූරි සභාවට ඉදිරිපත් කෙරිණි.

විත්තියේ නීතිඥ ගුල් නවාස් හුසේන් KC මහතා අධිකරණයට දන්වා සිටියේ, ඛාන් නිවසේ දුෂ්කරතා මධ්‍යයේ මෙන්ම, වසර ගණනාවක් පාසල තුළ හිරිහැරවලට ලක් වෙමින් සහ දැඩි භීතියකින් පසු වූ බවත්, එම තත්ත්වය මත ඔහු මෙලෙස "පුපුරා ගිය" (snapped) බවත්ය. කෙසේ වෙතත්, මෙම අපරාධය සමාව දිය නොහැකි බව පිළිගත් නීතිඥවරයා, හාවිගේ පවුලේ වේදනාව හා සසඳන විට ඛාන් අතීතයේ ලක් වූ නින්දාසහගත තත්ත්වයන් කිසිවක් නොවන බවත්, හාවිට මෙන් නොව ඛාන්ට තවමත් ජීවිතයක් ඉතිරිව ඇති බව වටහාගෙන සිරගතව සිටින කාලය තුළ පාඩම් ඉගෙන ගනු ඇති බවත් පැවසීය.

මෙම මාරාන්තික ප්‍රහාරය දුටු අනෙකුත් සිසුන් දැඩි බියකින් හා කලබලයකින් පලා ගිය බවත්, සමහර සිසුන් අල්මාරියක් තුළ සැඟවී දොර වසා ගත් බවත් අධිකරණයේදී කරුණු හෙළි විය. පිහියෙන් ඇනීමෙන් ක්ෂණිකව පසු, ඛාන් පාසලේ විදුහල්පතිවරයා වෙත ගොස්, "මගේ ඔළුව හරි නැහැ," "අපේ අම්මා මාව හරියට බලාගන්නේ නැහැ," සහ "ඔබ දන්නවා මට මේක පාලනය කරගන්න බැහැ" යනුවෙන් පවසා තිබුණි.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය ඇමතූ හාවි විල්ගූස්ගේ සොහොයුරිය වන සෝෆි, තම සොහොයුරා "උණුසුම්, විහිළුකාරී සහ සැලකිලිමත්" අයෙකු ලෙස විස්තර කළාය. "මෙම වේදනාව අපගේ ජීවිත කාලය පුරාම පවතිනු ඇති" බව පැවසූ ඇය, මොහොමඩ් ඛාන් විසින් "නතර කළේ හාවිගේ ජීවිතය පමණක් නොව, අපගේ ජීවිතද" බව සංවේදී වෙමින් ප්‍රකාශ කළාය. මෙම ඝාතනයෙන් පසුව හාවිගේ පවුලේ සාමාජිකයින් පිහි අපරාධවලට එරෙහිව උද්ඝෝෂණ දියත් කර ඇති අතර, ඔහුව සිහි කිරීම සඳහා තරුණ සමාජයක්ද ආරම්භ කර තිබේ.

දඬුවම් නියම කිරීමෙන් අනතුරුව 'ඕල් සෙන්ට්ස් කතෝලික' උසස් පාසල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, හාවිගේ ඛේදජනක මරණයට අදාළ ප්‍රධාන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිහිපයකටම පාසල සහ එහි භාරකාර මණ්ඩලය පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

gossiplanka image 2



gossiplanka image 3
gossiplanka image 4