
ප්‍රබල පාතාල නායකයකු වූ ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ බව කියන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා යෑමට සහය වූ පුද්ගලයකු පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනකුට ද ඒ ආකාරයෙන්ම ඉන්දියාවට පැන යෑමට උදව් කර ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.
මිනිස් ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති යාපනය, උදයපුරම් ප්‍රදේශයේ පදිංචි ඒ.පී. ආනන්ද නමැති මෙම සැකකරු තිහාරිය, මාගොඩවෙල ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිසිය විසින් පෙරේදා (21) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් කිහිප දෙනකු බෝට්ටු මගින් රහසිගතව ඉන්දියාවට රැගෙන ගොස් ඇත්තේ මෙම සැකකරු විසින් බවට හෙළිවීමත් සමග කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එමෙන්ම, පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරියක ලෙස සැලකෙන සහ අදටත් අතුරුදන්ව සිටින සාරා ජෙස්මින් නමැති කාන්තාව ද ප්‍රහාරයෙන් පසු ඉන්දියාවට පලා ගිය බවට එවකට විමර්ශන සිදුකළ පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබූ අතර,
ඇයට එසේ පලා යෑමට උපකාර කළේද මෙම ආනන්ද නමැති සැකකරුද යන්න සොයා බැලීම සඳහා ද විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
සැකකාර ආනන්ද පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ ඉෂාරා සෙව්වන්දි නමැත්තියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කිලිනොච්චියේ නිවසක සඟවා තිබූ පිස්තෝල දෙකක් සහ ජීව උණ්ඩ තොගයක් ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.
ඉෂාරා සෙව්වන්දිට රටින් පලා යෑමට පෙර නවාතැන් පහසුකම් ලබාදුන් මෙන්ම ඇයට විවිධ අයුරින් ආධාර උපකාර කළ තවත් පුද්ගලයන් කිහිප දෙනකුම ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval