කොළඹ නුවර මාර්ගයේ තිහාරිය, ඕගොඩපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම ප්‍රධාන සැකකරු 52 හැවිරිදි අන්තෝනි පිල්ලේ ආනන්දන් නැමැත්තෙකි. පැය 72ක රැඳවුම් නියෝග මත ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත මෙම ගිනි අවි සොයාගෙන තිබේ. තවද, ආනන්දන්ට මෙම ගිනි අවි ලබාදුන් 43 හැවිරිදි අනෙක් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාද වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය විදේශගත කිරීමේ සිදුවීමට අදාළව මේ වනවිට පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රධාන සැකකරු වන ආනන්දන්, පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුටද මුහුදු මාර්ගයෙන් පළා යාමට ආධාර කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතින බවත්, ඒ පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මක බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. දැනට විදෙස්ගතව සිටින 'සිලෝන් බායි' හෙවත් මොහොමත් රිස්වි නැමැත්තාගේ සහ ගිනි අවි සැපයූ පුද්ගලයාගේ දැඩි බලපෑම මත ආනන්දන් විසින් ඉෂාරාට පළා යාමට උදව් කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ ඇය පසුගිය මැයි මස 8 වන දින මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් ඇති බවයි. ඊට පෙර මැයි 6 වන දා දක්වා ඇය කිලිනොච්චිය, උදය නගර් බටහිර ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන ඇති අතර, ඒ සඳහා පහසුකම් සලසා දී ඇත්තේ බෝට්ටු සැපයූ ආනන්දන්ගේ උපදෙස් මත බව අනාවරණය වී ඇත. එම නවාතැන් පහසුකම් සලසා දුන් පෙරුමාල් සත්තකේෂන් නමැති පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval