2012 වසරේදී ආරම්භ කළ ඉහළ කොත්මලේ බලාගාරය, මෙරට ස්ථාපිත ප්‍රථම ස්වයංක්‍රීය හෙවත් මිනිස් මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි ජල විදුලි බලාගාරය ලෙස සැලකේ. එකල පැවති ඉහළම තාක්ෂණයෙන් සමන්විතව නියංගම්දොර ප්‍රදේශයේ මෙය ඉදිකළ අතර, එහි සමස්ත මෙහෙයුම් පැරැණි කොත්මලේ ජල විදුලි බලාගාරයේ සිට දුරස්ථව සිදුකිරීමට මුල සිටම සැලසුම් කර තිබිණි.
ව්‍යාපෘතිය නිමවීමෙන් පසු එහි සේවයේ නිරතවූ නිලධාරීන්ට තනතුරු පිරිනැමීම සඳහා ඉහළ කොත්මලේ බලාගාරයට කාර්ය මණ්ඩලයක් පත්කළද, සැලසුම් කළ පරිදිම එහි මෙහෙයුම් කටයුතු කොත්මලේ බලාගාර මධ්‍යස්ථානයේ සිටම සිදුකෙරිණි.
මෙලෙස පත්කළ සේවක සංඛ්‍යාව 100 කට අධික වන අතර, ඔවුන් වෙනුවෙන් ව්‍යාපෘතිය මගින්ම ඉදිකළ නිල නිවාසද ලබාදී තිබේ. බලාගාරයේ සිට කිලෝමීටර 15 ක් පමණ දුරින් පිහිටි එම නිවාස සංකීර්ණය වෙත උදෑසන සහ සවස නොමිලේ ප්‍රවාහන සේවා සපයන අතර, එම නිවාසවල ජල හා විදුලි බිල්පත් ගෙවීමද සිදුවන්නේ මහජන මුදලිනි. වාර්තා වන ආකාරයට, මෙම නිල නිවාස සඳහා මාසිකව ගෑස් සිලින්ඩර පවා මණ්ඩලයේ වියදමින් සපයන අතර, නිල නිවාස භාවිත නොකරන සේවකයින් පවා මෙම නොමිලේ ගෑස් දීමනාව ලබාගන්නා බවද සඳහන් වේ.
2020 වසර දක්වා කොත්මලේ සිට ක්‍රියාත්මක වූ මෙම බලාගාරයේ මෙහෙයුම් කටයුතු, හදිසි තීරණයක් මත ඉහළ කොත්මලේ බලාගාරය වෙතම පවරාගෙන තිබේ. ඒ සඳහා අලුතින් ඉංජිනේරුවන් පිරිසක්ද අනුයුක්ත කර ඇත.
මෙම ඉංජිනේරුවන් මහනුවර ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස් වල සිට කිලෝමීටර 60 ක පමණ දුරක් ගෙවා සේවයට වාර්තා කරන අතර, ඔවුන් වෙනුවෙන්ම උදෑසන සහ සවස වෙනම ප්‍රවාහන සේවාවක්ද මණ්ඩලයේ වියදමින් ක්‍රියාත්මක වේ. තවද, බලාගාරයේ වාහන සඳහා ඉන්ධන ලබාගැනීමට එහිම ස්ථාපිත කර ඇති තොග ඉන්ධන සැපයුම් ඒකකයෙන්, ඇතැම් ඉංජිනේරුවන් සිය පුද්ගලික වාහන සඳහාද නොමිලේ ඉන්ධන ලබාගන්නා බවට චෝදනා පවතී.
මෙම බලාගාරයේ මාසිකව සිදුකළ යුතු නඩත්තු කටයුතු සඳහා ගතවන්නේ එක් දිනක් පමණක් බවත්, 100 ඉක්මවූ සේවක පිරිස ඉතිරි දිනවල විශේෂ කාර්යයක නිරත නොවන බවත් වාර්තා වේ. කෙසේ වෙතත්, සාමාන්‍ය රාජකාරී වේලාව සවස 5 න් අවසන් වුවද, සියලු දෙනාටම රාත්‍රී 7 දක්වා දෛනිකව පැය දෙකක අතිකාල දීමනාවක් ගෙවීමද සිදුවේ. මෙතරම් විශාල සේවක පිරිසක් සිටියදීත්, බලාගාර පරිශ්‍රයේ නඩත්තු කටයුතු සඳහා බාහිර කොන්ත්‍රාත්කරුවෙකුට පවරා ඇති අතර, ඒ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 40 කට අධික මුදලක් ගෙවනු ලබයි.
මෙලෙස, මුලින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ බලාගාරයක් පවත්වාගෙන යාම සඳහා, සේවක නඩත්තු කටයුතු වෙනුවෙන්ම වාර්ෂිකව මිලියන ගණනක මහජන මුදලක් වැයවෙමින් පවතින තත්වයක් උද්ගතව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval