වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ වී තිබෙන පසුබිමේ ඝාතනය ගැන අලුත් තොරතුරු රැසක් අනාවරණයවී ඇත. මෙම ඝාතනය දකුණු පළාතේ ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක් විසින් යුද හමුදාවෙන් පලා ආ සෙබළකුට ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට විමර්ශනවලින් හෙළි වී ඇත. සීසීටීවී දර්ශන ඔස්සේ මෙම කුලී ඝාතකයා මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.
ඝාතකයා සහ යතුරුපැදිකරු පළාගිය මාර්ගය හඳුනාගැනීම සඳහා ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ. යතුරුපැදියකින් පළාගොස් ඇති සැකකරුවන්, අතරමඟදී යතුරුපැදි දෙකකින් වෙන් වෙන්ව පළාගිය බවට ලද තොරතුරු ඔස්සේ ද විමර්ශන දිගහැරෙයි. තවද, සිද්ධිය වූ අවස්ථාවේ ප්‍රදේශයේ හුවමාරු වූ දුරකථන ඇමතුම් විශ්ලේෂණ වාර්තා ලබාගෙන ඇති අතර, ඒ ඔස්සේ ද වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.
මෙම ඝාතනය පිටුපස මිදිගම රුවන්, මිදිගම චූටි සහ හරක් කටා යන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සම්බන්ධයක් ඇති බවට ලැබී ඇති තොරතුරු ඔස්සේ ද පොලිසිය පරීක්ෂණ පවත්වයි. වැලිගම, ඉබ්බාවල ප්‍රදේශයේ නිවසක තිබී ටී-56 ගිනි අවි තුනක් ඇතුළු යුද උපකරණ තොගයක් පොලිසිය මීට පෙර සොයාගෙන තිබූ අතර, එම වැටලීමට අදාළ තොරතුරු පොලිසියට ලබා දුන්නේ ලසන්ත වික්‍රමසේකර විසින් බවට පාතාල කණ්ඩායම්වලට දැඩි සැකයක් පැවති බව වාර්තා වේ. එම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම රුවන්ගේ කිට්ටු ඥාතියෙකු වීම මෙම ඝාතනයට ආසන්නතම හේතුව වන්නට ඇති බවට සැක කෙරේ.
ඝාතනයට ලක්වීමට පෙර සිටම ලසන්ත වික්‍රමසේකර දැඩි මරණ බියකින් පසුව ඇති අතර, ඔහු සිය පදිංචි ස්ථාන නිරන්තරයෙන් වෙනස් කරමින් රහසිගත ජීවිතයක් ගත කර ඇත. තමාට එල්ල වී තිබූ මෙම තර්ජන හේතුවෙන් ඔහු පෞද්ගලික ආරක්ෂකයින් පහළොස් දෙනෙකු පමණ සිය ආරක්ෂාවට යොදවාගෙන සිටි බවද හෙළි වී තිබේ. කෙසේ වෙතත්, ඝාතනය සිදුවන අවස්ථාවේ එම ආරක්ෂකයින් කිසිවෙකු ඔහු අසල නොසිටීම සම්බන්ධයෙන් ද පොලිසියේ විශේෂ අවධානය යොමු වී ඇත.
තම ජීවිතයට තර්ජනයක් පවතින බව පවසමින් ලසන්ත වික්‍රමසේකර මීට පෙර පොලිස්පතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබී ඇත.
පසුගිය අගෝස්තු මස 29 වන දින දිවුරුම් ප්‍රකාශයක්ද සමගින් යොමු කළ එම ලිපිය මගින්, 'මිදිගම රුවන්' හෙවත් 'රුවන් ජයසේකර' නැමැත්තා තමන්ව උසාවියට හෝ ප්‍රාදේශීය සභාවට පැමිණෙන අවස්ථාවක වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කරන බවට ඔහු පැහැදිලිව දන්වා තිබිණි.
කෙසේ වෙතත්, ඔහුට නිල පොලිස් ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ද මේ වනවිට කතාබහක් නිර්මාණය වී තිබේ. පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ 'වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ' පනත යටතේ හෝ 'ප්‍රභූ ආරක්ෂක' ක්‍රමවේදය යටතේ ඔහුට ආරක්ෂාව සැපයීමට නීතිමය බාධා පැවති බවයි. ලසන්ත වික්‍රමසේකර 2022 වසරේ 'සන්ෂයින් සුද්දා' ඝාතනය ඇතුළු අපරාධ නඩු කිහිපයක විත්තිකරුවෙකු වීම ඊට හේතු වී ඇත.
මෙම ඝාතන සිද්ධිය රට තුළ ආන්දෝලනයක් ඇති කර තිබෙන අතර, පාර්ලිමේන්තුව තුළ ද මේ පිළිබඳව කතාබහට ලක් විය. අපරාධ පසුබිමක් සහිත පුද්ගලයෙකුට ප්‍රධාන දේශපාලන පක්ෂයකින් නාමයෝජනා ලබා දීම සම්බන්ධයෙන් ද විවේචන එල්ල වෙමින් පවතී. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන කටයුතු සිදු කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval