global-link-board-of-directors-remanded-for-defrauding-people-with-pyramid-schemes

 සූර්ය පැනල අලෙවි කිරීමේ මුවාවෙන් පිරමිඩාකාර මූල්‍ය යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යමින් මහජන මුදල් වංචා කළ බවට චෝදනා ලබන ග්ලෝබල් ලින්ක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.






අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ විල්වරාජන් විජේන්ද්‍රන්, ප්‍රියනත් ප්‍රේමනාත්, ශ්‍රියානි කපුවත්ත, නෙවිල් බණ්ඩාර කුලතිලක, සෝණමුත්තු සිවරාසා, පී. ප්‍රේමකීර්ති සහ සුසන්ත බණ්ඩාර යන සැකකරුවන්ය. ඔවුන් එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස කටයුතු කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි නොවූ අනීතික සමාගමක් ලෙස මෙම ආයතනය පවත්වාගෙන යමින් මූල්‍ය වංචාවක් සිදුකිරීමේ සැකය මත අදාළ අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.