julampitiya-amarege-patikiriya-who-was-named-the-middle-aged-fine-dog-by-the-lanka-newspaper

 ජූලම්පිටියේ පදිංචිකරුවෙකු වන ජී.ජී. අමරසිරි ගමගේ හෙවත් ජූලම්පිටියේ අමරේ සම්බන්ධයෙන් තංගල්ල මහාධිකරණය මීට පෙර ලබාදී තිබූ මරණීය දණ්ඩනය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා තහවුරු කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ මෙයට එරෙහිව අභියාචනය කළ හැකි ඉහළම අධිකරණයක් නොමැති බැවින්, මරණ දඬුවම ක්‍රියාත්මක කරන දිනක් දක්වා ඔහුට බන්ධනාගාරගතව සිටීමට සිදුවනු ඇත.



මෙම මරණීය දණ්ඩනයට පාදක වූයේ 2012 වසරේ ජුනි මස 11 වන දින කටුවන, හැඩිවත්ත ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ජන හමුවකට එල්ල වූ ප්‍රහාරයයි. එල්. එම්. රංජිත් නමැත්තාට අයත් නිවසක පැවති මෙම රැස්වීමට කඩා වැදුණු අමරේ ප්‍රමුඛ සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩි තැබීම් සහ පහරදීම් හේතුවෙන් එදිරිමාන්න පතිරණගේ මාලනී (50) සහ ජයසේකර පතිරණගේ හේෂාන් (18) යන දෙදෙනා ජීවිතක්ෂයට පත්වූහ. එම ද්විත්ව ඝාතනය සහ තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.




 කටුවන හැඬිවත්ත ප්‍රදේශයේදී ජුනි 11 පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහභාගිත්වයෙන් පැවැති ප්‍රාදේශීය ජනහමුවකි. මේ රැස්වීම පවත්වනු ලැබුවේ හැඩි වත්තේ පින්නමණ්ඩියේ ගෙදර ලෙස හැඳින්වෙන එල්. එම්. රංජිත් නමැති අයගේ නිවසෙහිය. රාත්‍රී හත පමණ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ සභාව අමතමින් සිටියේය. ඒ මොහොතේ අමරේ ප්‍රමුඛ සන්නද්ධ කණ්ඩායම පැමිණ වෙඩි තබන්නටත් එහි සිටියවුන්ට පොලු වලින් පහර දෙන්නටත් වූහ. වෙඩි වැදී බරපතළ තුවාල ලබා සිටි අයට අමතරව කීපදෙනෙක් දරුණු පහර කෑමට ලක්ව සිටියහ.

පහර කෑ අය අතර රැස්වීම පැවැත්වූ නිවසේ අයිතිකරුගේ තරුණ පුත්‍රයාද විය. වාහන එකොළහකට අමතරව නිවසේ බඩුමුට්ටුද කුඩු පට්ටම් කර දමා තිබිණ.

අමරේ පැමිණ තිබුණේ මුහුණු ආවරණයක්වත් නැතිව ප්‍රසිද්ධියේමය. කටුවන පොලිසිය මේ සිදුවීමේදී හැසිරුණු ආකාරය, රාජපක්ෂ දේශපාලන හිතවත්කම් වෙනුවෙන් පොලිසිය වැඩ කරන ආකාරය තේරුම් ගැනීමට හොඳ උදාහරණයකි.
ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී අමරේ, "මම තමයි යකෝ මැදමුලනේ වලව්වේ දඩබල්ලා. තොපි පුළුවන්නං වරෙව්," යනුවෙන් ප්‍රකාශ කරමින් තමන්ව හඳුන්වා දී තිබූ බවට අධිකරණයේදී සාක්ෂි මගින් අනාවරණය විය. එවකට පැවති රාජපක්ෂ පාලනය හා සම්බන්ධව ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ප්‍රචන්ඩ ස්වභාවය මෙම සිදුවීමෙන් මනාව පිළිබිඹු විය.



මේ සිදු වීමට පසුද කටුවන පොලිසිය මේ පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. භාර ගත්තේ පැයක ප්‍රමාදයකින් පසුවය. 
සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර එකහමාරක් වැනි ආසන්න දුරක පිහිටි කටුවන පොලිසිය, මිනිත්තු තිහක් පමණ පැවති මෙම ප්‍රහාරය අතරතුර ලද කිසිදු දුරකථන ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වීම ද මෙහිදී විශේෂයෙන් අවධානයට ලක්විය. ප්‍රහාරය අවසන් වී මිනිත්තු දහයකට පසුව එම ස්ථානයට පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා, රැස්වීම සංවිධානය කළ පුද්ගලයින්ට දොස් පැවරූ බවත්, පැමිණිල්ල භාරගැනීම පැයකින් ප්‍රමාද කළ බවත් නඩු විභාගයේදී හෙළිදරව් විය.

මෙම ප්‍රහාරයට ආසන්නතම හේතුව ලෙස සැලකෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ 'ලංකා' පුවත්පතේ 'මැදමුලනින් කිරි පොවන දඩබල්ලා බැඳ දමනු' යන ශීර්ෂය යටතේ අමරේ සහ රාජපක්ෂවරුන් අතර පැවති සම්බන්ධය හෙළිකරමින් පළවූ ලිපියකි. එම ලිපිය පළවීමෙන් අනතුරුව අමරේ, ජවිපෙ ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙකුට පහර දී මරණීය තර්ජන එල්ල කර තිබිණි.
අමරේ ප්‍රදේශයම බියවද්දාගෙන සිටි මැරයෙකි. මිනීමැරුම් හයකට හා මිනීමැරීමට තැත් කිරීම් හා පැහැර ගැනීම් ඇතුළු අපරාධ එකොළහකට මහාධිකරණය තිස් වරකටත් වඩා ඔහුට වරෙන්තු කර තිබිණැයි කියැවෙයි. 

මැදමුලනින් කිරි පොවන දඩබල්ලා බැඳ දමනු' යනුවෙන් ලිපිය දුටු අමරේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වූ ජිනදාස කිතුලේගොඩ ගේ සොයුරා සිටි ජූලම්පිටියේ නිවසට පැමිණ ඔහුගේ බිරිඳට මරණ තර්ජන කර තිබිණි.
ඉන් අනතුරුව ජුලම්පිටිය ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කළ තිදෙනෙක් අමරේගෙන් මාරාන්තික ලෙස පහර කෑවෝය.

වර්ෂ 2000 ජූනි මස 30 වැනිදා තංගල්ල බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලක් මෙහෙයවන ලද්දේද ජූලම්පිටියේ අමරේ බව කියැවෙයි. 2002 දී ඔහු බන්ධනාග ආරය කඩාගෙන පලා ගොස් තිබේ. ඔහු මිනිසුන් හය දෙනෙකුගේ මිනීමැරුම්වල අප්‍රධාන සැකකරුය. මිනීමැරීමට තැත්මඅලිප කිරීම හා පැහැරගෙන යැම වැනි බරපතළ අපරාධ පහකටද ඔහු මුල් වී ඇති බව අධිකරණයේදී හෙළි වී තිබේ. මේ සම්බන්ධ නඩු එකොළහක්ම අධිකරණයේ ඇසෙමින් තිබිණි.

ඔහුට එරෙහිව නැගුණු ප්‍රධානම මිනීමැරුම් චෝදනාවක් වුයේ මිද්දෙනියේ බස් ව්‍යාපාරිකයෙකු වූ අමිල චූටි ඔහුගෙ ම ගිනි අවියකින් වෙඩි තබා ප්‍රසිද්ධියේ ඝාතනය කර දැමීමය. ගස් කපා විකිණීම, ගංජා ව්‍යාපාරය හා හොර හරක් ජාවාරමත්, කප්පම් ගැනීමත් ඔහු පවත්වාගෙන ගිය බව වරින් වර වාර්තා වී තිබේ. 

මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම්, පැහැරගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ජූලම්පිටියේ අමරේට එරෙහිව මහාධිකරණය මගින් වරෙන්තු තිහකට අධික සංඛ්‍යාවක් නිකුත් කර තිබුණද, ඔහු ප්‍රදේශයේ නිදැල්ලේ හැසිරුණේය. ගිනි අවි දරාගෙන පොලිස් ස්ථානවලට පවා ගොස් ඇති ඔහු, රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට දඬුවම් දීමට තරම් බලවත්ව සිටි බවට තොරතුරු වාර්තා විය.

2005 මහා මැතිවරණයේදී හෙතෙම හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජපක්ෂලාගේ දේශපාලන වේදිකාවලට නැග්ගේය. කතා පැවැත්වූයේය. ගී ගැයුවේය. ප්‍රසිද්ධියේ ටී 56 ගිනි අවියක් භාවිත කළේය. මේ වකවානුවේ ඔහුට එරෙහි පාතාල කල්ලියක් විණි. එහි නායකයා වූයේ නෙළුවේ ප්‍රියන්තය. ඔහු විශේෂ කාර්ය බලකාය විසින් මරා දැමිණි. ඉන් අනතුරුව එම පාතාල කල්ලියට නායකත්වය දුන්නේ නේවි රුවන් නමැත්තෙකි. ප්‍රියන්ත මැරීම සඳහා විශේෂ කාර්ය බළකායට ඔත්තුව සැපයූවේ අමරේ බවට සැක කළ රුවන් ඔහු සමග වෛර බැඳගෙන සිටියේය. අවසානයේදී නේවි රුවන් සැඟවුණේය. ජුලම්පිටියේ අමරේ යහතින් සිටියේය.

ඔහු ගමේ සිටියේ වෙඩි නොවදිනා ආරක්ෂක ඇඳුමක් වන බොඩි ආමර් පැළඳගෙන ගිනි අවියද සහිතවය.
විවෘත වරෙන්තුකරුවෙකු වුණත් ඔහු ඒ ආකාරයෙන්ම ප්‍රදේශයේ පොලීසිවලට ගියේය. බොහෝ අවස්ථාවල පොලීසියේ ස්ථානාධිපතිවරයා සමග අමරේ කතා කර තිබුණේ ගිනි අවිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ මේසය මත තබමිනි. 

එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මෙම ඝාතනය, ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර ඇතිවූ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළද, දීර්ඝ නඩු විභාගයකින් පසු 2019 නොවැම්බර් 7 වන දින තංගල්ල මහාධිකරණය විසින් අමරේට මරණ දඬුවම නියම කරන ලදී. අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය යන දෙකෙන්ම එම තීන්දුව තහවුරු වීමත් සමග, දේශපාලන සබඳතා මත ක්‍රියාත්මක වූ අපරාධ සංස්කෘතියේ එක් පරිච්ඡේදයක් මෙසේ අවසන් විය.

gossiplanka image 2