in-the-future-only-brown-sugar-will-be-used-when-making-tea-in-government-offices

 රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයේදී, සීනි ලෙස දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේය.



මෙම තීරණයට අනුව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ රජයේ රෝහල් වැනි රාජ්‍ය ආයතන, සිය ආහාර සැපයුම් සඳහා දුඹුරු සීනි පමණක් මිල දී ගැනීමට පියවර ගත යුතුව ඇත. මීට අමතරව, සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමෙන් සෘජුවම දුඹුරු සීනි මිල දී ගෙන පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට සීමාසහිත ලංකා සතොස ආයතනයට ද අවසර ලබා දී තිබේ.


අදාළ කැබිනට් යෝජනාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත.

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම යටතේ පාලනය වන පැලවත්ත සහ සෙවනගල කර්මාන්තශාලා මගින් වාර්ෂිකව දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 56,000 ක් පමණ නිපදවනු ලබයි. කෙසේ වෙතත්, මෙවර උක් වගාවේ අස්වැන්න ඉතා සාරවත් වීම හේතුවෙන්, දුඹුරු සීනි නිෂ්පාදනය එම වාර්ෂික සීමාව ද ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ගුණාත්මකභාවයෙන් ඉහළ දේශීය නිෂ්පාදනයක් වන දුඹුරු සීනි මෙරට ජනතාව අතර තවදුරටත් ප්‍රචලිත කිරීම මගින් දේශීය සීනි කර්මාන්තය තිරසර ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇත. එමෙන්ම, මෙම කර්මාන්තශාලාවල නියුතු සේවකයන්, දේශීය උක් ගොවීන් මෙන්ම මෙම නිෂ්පාදන ක්‍රියාවලියට සෘජු හා වක්‍ර සේවා සපයන්නන් රැකගැනීමේ අරමුණින් දුඹුරු සීනි සඳහා දේශීය වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාව ද මෙම තීරණයට හේතු වී තිබේ.