four-arrested-in-three-locations-for-defrauding-millions-of-rupees-by-sending-them-to-japan-canada-and-israel

 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් ඔක්තෝබර් 28 වන දින පමණක් සිදුකළ මෙහෙයුම් මාලාවකදී, විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. මෙම සැකකරුවන් විසින් පුද්ගලයින් ගණනාවකගෙන්ම වංචා කර ඇති මුළු මුදල රුපියල් කෝටි දෙකකට අධික බව වාර්තා වේ.



මෙලෙස අත්අඩංගුවට පත් එක් සැකකරුවෙකු මහරගම ප්‍රදේශයේදී කොටුකරගෙන ඇත්තේ කැනඩාවේ සාත්තු සේවා රැකියා දෙන බවට පොරොන්දු වෙමින් පුද්ගලයින් අට දෙනෙකුගෙන් රුපියල් එක් කෝටි විසි අට ලක්ෂයක මුදලක් වංචා කිරීමේ චෝදනාව මතය. ඔහු ගම්පහ වෝට්සිටි ප්‍රදේශයේ 'YR Immigration' නමින් ජාත්‍යන්තර උපදේශන ආයතනයක් පවත්වාගෙන යමින්, උපදේශන වැඩසටහන් හරහා තරුණ තරුණියන් බඳවාගෙන ඇති බවට හෙළිවී තිබේ. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව මෙම ජාවාරම සිදුකළ සැකකරු ඔක්තෝබර් 29 දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග ලැබිණි.




ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ම රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ තවත් පුද්ගලයෙකු කොට්ටාව ප්‍රදේශයේදී විමර්ශන නිලධාරීන්ගේ දැලට හසුවී ඇත. මෙම සැකකරු විදේශ රැකියා ආයතනවල කාර්මික පුහුණු උපදේශකවරයෙකු ලෙස සේවය කරමින්, එම ආයතන වෙත පැමිණෙන තරුණ තරුණියන්ට ඉක්මනින් ඊශ්‍රායල් යැවිය හැකි බව පවසා මුළා කර මුදල් ලබාගෙන තිබේ. ඔක්තෝබර් 29 දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වරද පිළිගෙන මුදල් යළි ගෙවීමට එකඟ වීම නිසා රුපියල් ලක්ෂ 8ක ශරීර ඇපයක් මත මුදා හැරිණි.

කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන්, කොළඹ කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක ජපන් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි පුද්ගලයෙකු ද ඔක්තෝබර් 28 දිනම අත්අඩංගුවට ගෙන ඇත. මොහු සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරමින්, වලංගු බලපත්‍රයක් නොමැතිව මෙම සම්මුඛ පරීක්ෂණ සංවිධානය කර ඇති අතර, ඒ සඳහා ජපන් භාෂා පාසල්වල සිසුන් සහභාගී වී තිබේ. සැකකරු අදාළ හෝටලය තුළදීම අත්අඩංගුවට ගත් අතර, ඔක්තෝබර් 29 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම හේතුවෙන් නඩුව නොවැම්බර් 12 වන දිනට කල් තබන ලදී.

මීට අමතරව, ජපානයේ රැකියාවක නිරත පුද්ගලයෙකුගේ බිරිඳක් විසින් ජපන් රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ බවට ලද පැමිණිල්ලක් මත ඇයවද විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇයව විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔක්තෝබර් 28 දින අත්අඩංගුවට ගෙන, පසුවදා (29) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී වරද පිළිගෙන මුදල් ආපසු ලබාදීමට එකඟ වීම නිසා ඇයව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරුණු අතර, නඩුව ලබන වසරේ පෙබරවාරි 26 දිනට කල් තැබිණි.

gossiplanka image 1



gossiplanka image 2