lawyer-tamara-arrested-on-suspicion-of-aiding-ishara-remanded-in-custody-for-72-hours

 ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත පනස් පස් හැවිරිදි නීතිඥවරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. තමරා අබේරත්න නමැති ඇය කඩවත හා ගම්පහ අධිකරණවල සේවය කරමින් සිටි තැනැත්තියක වන අතර කඩවත ප්‍රදේශයේ නිවසේදී ඊයේ (28) රාත්‍රියේ ඇයව අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.






පසුගිය පෙබරවාරි 19 වන දින අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සිදු වූ සංජීව ඝාතනය සඳහා ගිනි අවිය රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිට, එම රිවෝල්වරය සඟවාගෙන ඒම සඳහා සැකකාර නීතිඥවරිය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ ග්‍රන්ථයක් ඇතුළු පොත් දෙකක් ලබා දී ඇති බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.

ඊට අමතරව, වෙඩික්කරුට නීතිඥවරයෙකු ලෙස පෙනී සිටිමින් අධිකරණ ශාලාවට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය නීතිඥ ටයි පටි දෙකක් සහ නීතිඥවරුන් භාවිත කරන වාහන අවසර පත්‍රයක් ද ඇය විසින් ලබා දී තිබේ. පොලිස් විමර්ශනවලට අනුව, වෙඩික්කරු සඳහා ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් සකස් කිරීමට මෙම නීතිඥවරිය ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් තමන්ට නිකුත් කළ නිල හැඳුනුම්පත ලබා දී ඇති අතර, එලෙස සැකසූ ව්‍යාජ හැඳුනුම්පතේ ඇත්තේ ද ඇයගේම අත්සන බවට විමර්ශන නිලධාරීන් විසින් තහවුරු කරගෙන ඇත.




මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම නීතිඥවරිය පිළිබඳ තොරතුරු මුලින්ම අනාවරණය වී තිබේ. පසුව, නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්න කිරීමේදී එම තොරතුරු තවදුරටත් තහවුරු වී ඇති බව විමර්ශන අංශ පවසයි.

ෆේස් බුක් ගිණුමේ සඳහන් තොරතුරු අනුව සැකකාර තමරා අබේරත්න කොළඹ විශ්ව විද්‍යාලයේ හා නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.දඹුල්ල ගම් පළාත කරගත් තැනැත්තියකි. ඇය දරුවන් සිටින මවකි.කඩවත වාසය කරමින් සිට ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥවරියගෙන් තවදුරටත් කරුණු විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
නීතීඥවරියගේ අත්අඩංගුවට පත්වීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ දක්වා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැත.