ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය පාලන ක්‍රියාකාරී සැලැස්ම යටතේ මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවන්නේ ඉකුත් වසර තුනක කාලය තුළ රුපියල් කෝටි 20 ඉක්මවූ ඉහළ වටිනාකමකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හිදී වැඩිම ටෙන්ඩර් සංඛ්‍යාවක් අවලංගු කර ඇත්තේ මෙන්ම වැඩිම ටෙන්ඩර් ප්‍රමාණයක් අසාර්ථක වී ඇත්තේ ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව බවයි.
අදාළ වාර්තාව 2022 වසරේ සිට 2024 දක්වා කාලසීමාව ආවරණය කරමින් අමාත්‍යාංශ සහ රාජ්‍ය ව්‍යවසාය නවයක රුපියල් මිලියන 200 ඉක්මවූ ප්‍රසම්පාදන පිළිබඳ සවිස්තරාත්මක සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර තිබේ.
මෙම කාලය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව අදාළ වටිනාකමින් යුත් ටෙන්ඩර් 388 ක් කැඳවා ඇති අතර, එය වාර්තාව මගින් අධීක්ෂණය කළ ආයතනයක් කැඳවූ ඉහළම ටෙන්ඩර් ප්‍රමාණය ලෙස ද සටහන් වේ.
සංස්ථාව විසින් කැඳවන ලද සමස්ත ටෙන්ඩර් 388 න්, ටෙන්ඩර් 162 ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇති අතර තවත් ටෙන්ඩර් 75 ක් අසාර්ථක වී තිබේ. මෙරට දරුණුතම ආර්ථික අර්බුදය පැවති 2022 වසරේදී පමණක් ටෙන්ඩර් 135 ක් අවලංගු කර, ටෙන්ඩර් 61 ක් අසාර්ථක වී ඇති බව දත්ත මගින් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම ටෙන්ඩර් අසාර්ථක වීමට හෝ අවලංගු කිරීමට හේතු මුදල් අමාත්‍යාංශ වාර්තාව මගින් දක්වා නොමැති අතර, "අසාර්ථක" සහ "අවලංගු" ලෙස වර්ග කිරීමේ නිර්වචනය ද එහි පැහැදිලි කර නොමැත.
සෞඛ්‍ය අමාත්‍යාංශය ද අදාළ කාල සීමාව තුළ රුපියල් කෝටි 20 ඉක්මවූ ටෙන්ඩර් 208 ක් කැඳවා ඇති අතර, ඉන් සාර්ථක වී ඇත්තේ සියයට 53 ක් වන අතර සියයට 36 ක් අසාර්ථක වී ඇත. මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිවලදී ඉහළම සාර්ථකත්වයක් වාර්තා කර ඇති ආයතන අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පිළිවෙළින් ඉදිරියෙන් සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval