හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි ජීවතුන් අතර සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු රතු කුරුස සංවිධානය වෙත නිදහස් කිරීමත් සමග ඊශ්‍රායල ජනතාව සඳුදා දිනයේ ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ. මේ අනුව මේ දක්වා රදවා සිටි සියල්ලන් නිදහස් කර ඇත.
ඊට සමගාමීව, එරට පාර්ලිමේන්තුව වන නෙසට් මණ්ඩලය ඇමතීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊශ්‍රායලය වෙත සපැමිණියේය. ඊශ්‍රායල හමුදා ගුවන් විදුලියේ මෙම පැමිණීම "යුක්තිය වෙනුවෙන් ආ ජයග්‍රාහකයෙකුගේ ආගමනයක්" ලෙස හඳුන්වා තිබිණි.
මීට සති දෙකකට පෙර ධවල මන්දිරයේදී ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද ගිවිසුමට අනුකූලව මෙම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සිදු විය. එම ගිවිසුම ප්‍රකාරව, ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 250 දෙනෙකු නිදහස් කර බස් රථ වෙත නංවන ලද්දේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ නැවත පැමිණීම අපේක්ෂාවෙනි.
පසුගිය සතියේ අගභාගයේදී ඇමරිකාවේ මූලිකත්වයෙන් ඇති කරගත් එකඟතාවක් අනුව, හමාස් සංවිධානය සඳුදා උදෑසන ගාසා තීරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හත් දෙනෙකු පළමුව නිදහස් කරන ලදී. ගාසා තීරයේදී, සම්පූර්ණ ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා කණ්ඩායම් තුනක් යටතේ නිදහස් කර පළමුව රතු කුරුස සංවිධානයටත්, පසුව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) වෙතත් භාර දෙන ලදී. ඉන් පළමු හත් දෙනා ඊශ්‍රායලය වෙත ළඟා වූ අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට තම පවුල්වලට දුරකථන ඇමතුම් ලබා දීමට ද හැකි විය.
ජනාධිපති ට්‍රම්ප් මෙම නිදහස් කිරීමේ ක්‍රියාවලිය 'එයාර් ෆෝස් වන්' ජනාධිපති ගුවන් යානයේ සිට නිරීක්ෂණය කළ අතර, බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පාලක මැදිරිය ඔහුට සහ එක්සත් ජනපදයට සිය ස්තූතිය පුද කළේය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් විසින් ගුවන් තොටුපළේදීම ට්‍රම්ප් මහතාව පිළිගත්හ. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතරතුර ඔවුන් තිදෙනා එක්ව ජෙරුසලම බලා පිටත් වූහ.
ටෙල් අවීව් නුවර 'ප්‍රාණ ඇපකරුවන්ගේ චතුරශ්‍රයට' රැස් වූ ඊශ්‍රායල ජාතිකයෝ, යුදෙව් 'සුක්කොත්' මංගල්‍යයේ උත්සවශ්‍රීයෙන් යුත් චාරිත්‍ර ඉටු කරමින් සිටියහ. එම නිවාඩු දිනයේ හයවන දිනය වන සඳුදා දිනයේදී පැතුම් ඉටුවන බවට සම්ප්‍රදායික විශ්වාසයක් පවතී.
'ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්' පුවත්පතට අනුව, ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන නෙසට් මණ්ඩලයේ සිටි අයට "ට්‍රම්ප් - සාමයේ ජනාධිපති" ලෙස සඳහන් "Make America Great Again" යනුවෙන් මුද්‍රිත රතු පැහැති තොප්පි බෙදා දී තිබිණි.
මෙය ඒ වන විටත් ඊශ්‍රායල ඉතිහාසයේ සතුටුම දිනවලින් එකක් බවට පත්ව තිබිණි. ජීවතුන් අතර සිටි අවසන් ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා දේශ සීමාව තරණය කරද්දී, ඊශ්‍රායල ජනතාව ගී ගයමින්, නටමින්, ප්‍රීති කඳුළු සලමින් සහ ට්‍රම්ප්ගේ කතාව ඇසීමට බලා සිටින මොහොතක, "වසර දෙකකට පසු, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් කිසිවෙකු නැත" යනුවෙන් හමුදා ගුවන් විදුලිය නිවේදනය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval