මැලේසියාවේ මලක්කා ප්‍රාන්තයේ පාසලකදී 15 හැවිරිදි සිසුවියක් ඇගේ ජ්‍යෙෂ්ඨ සිසුන් අතින් සමූහ දූෂණයකට ලක්වීමේ සිදුවීමක් වාර්තා වේ. මෙම සිදුවීමට අදාළව වයස අවුරුදු 17 ක් වන ජ්‍යෙෂ්ඨ සිසුන් සිව් දෙනෙකු පොලීසිය විසින් සෙනසුරාදා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දින හයක රැඳවුම් නියෝගයක් මත රඳවා තබා ඇත.
ඔක්තෝබර් 2 වන දින මෙම අපරාධය සිදුව ඇති අතර, විද්‍යා ව්‍යාපෘතියක් රැගෙන ඒම සඳහා පන්ති කාමරයකට ගිය අවස්ථාවේදී අදාළ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් වින්දිත සිසුවිය බලහත්කාරයෙන් ඇදගෙන ගොස් ඇත.
පිරිමි ළමුන් දෙදෙනෙකු ඇයව ලිංගිකව දූෂණය කරන විට අනෙක් දෙදෙනා එම සිදුවීම ජංගම දුරකථනයකින් පටිගත කරමින් ඊට සාක්ෂි දරා ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
මලක්කා පොලිස් ප්‍රධානී Dzulkhairi Mukhtar දේශීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 375B වගන්තිය (සමූහ දූෂණය) යටතේ විමර්ශන සඳහා මෙම සිසුන් රඳවා තබා ඇති බවයි. එම වරද සඳහා අවම වශයෙන් වසර 10 ක් සහ උපරිම වසර 30 ක් දක්වා සිර දඬුවමක් මෙන්ම කස පහර දීමද නියම විය හැකිය.
ලබන මාසයේ පැවැත්වෙන පාසල් අවසන් විභාගය සඳහා පෙනී සිටීමට නියමිත මෙම සැකකාර සිසුන් සිව්දෙනාට ඊට ඉඩ දීම සම්බන්ධයෙන් මැලේසියානුවන් දැඩි කෝපය පළ කර තිබේ. විභාගයට පෙනී සිටීමට ඉඩ දීමට පෙර ඔවුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවිය යුතු බවට දැඩි ඉල්ලීම් මතුව ඇත.
මෙම සිදුවීම අධ්‍යාපන ආයතන තුළ සිදුවන අපයෝජන රැල්ලක් මැද සිදුව ඇති අතර, පාසල් තුළ දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව යළිත් අවධාරණය කර තිබේ. අත්අඩංගුවේ පසුවන සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවසර දීමෙන්, අධ්‍යාපනය අපරාධවලට වඩා ඉහළින් තැබීමක් පිළිබඳ "භයංකර පණිවිඩයක්" සමාජයට ලබා දෙන බව ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.
මැලේසියානු අධ්‍යාපන අමාත්‍ය ෆඩ්ලිනා සිඩෙක් සෙනසුරාදා (ඔක්තෝබර් 11) ප්‍රකාශ කළේ, තම අමාත්‍යාංශය යටතේ පවතින කිසිදු අධ්‍යාපන ආයතනයක සිදුවන ලිංගික විෂමාචාර සිද්ධීන් සම්බන්ධයෙන් කිසිදු සම්මුතියකට එළඹෙන්නේ නැති බවයි. මලක්කා හි ද්විතීයික පාසලේ සිදුවීම "කනගාටුදායක" බවත්, වරදකරුවන්ට එරෙහිව "දැඩිම ක්‍රියාමාර්ග" ගන්නා බවත් ඇය අවධාරණය කළාය. කිසිවෙකුට ආරක්ෂාව නොලැබෙන බව පැවසූ අමාත්‍යවරිය, පවතින පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස පාසලට, දිස්ත්‍රික් සහ ප්‍රාන්ත අධ්‍යාපන කාර්යාලවලට නියෝග කර ඇත.
මේ අතර, මලක්කා ප්‍රාන්තයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ ආගමික කටයුතු කමිටු සභාපති රහ්මාඩ් මරිමන් 'ද ස්ටාර්' පුවත්පතට පවසා ඇත්තේ පාසල් තුළ යළි කස පහර දීමේ ක්‍රමය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත්, එය වේදනාව ඇති කිරීමට නොව, අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් "ඥානවන්තව" ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval