couple-arrested-for-stealing-property-from-german-doctors-house-in-dehiwala

 දෙහිවල, මහල් නිවාස සංකීර්ණයක දෙවන මහලේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු දේපළ සොරකම් කිරීමේ චෝදනාව මත තරුණ පෙම් යුවළක් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය සමත්ව තිබේ.



මෙම සොරකම සිදුව ඇත්තේ ජර්මනියේ ආයුර්වේද තෙරපි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වෛද්‍යවරයකුට අයත් නිවසකය. සැකකාර යුවළ විසින් රුපියල් ලක්ෂ හතළිස් පහක මුදලක්, ලක්ෂ තිහකට අධික වටිනා ගෘහ උපකරණ සහ පරිගණක මෙන්ම, වටිනා විදෙස් විස්කි බෝතල් 60ක් සහ දේශීය මිල අධික අරක්කු වර්ගයේ බෝතල් 50ක් ද ඇතුළුව දේපළ රැසක් සොරකම් කර ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත.




අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 24 පසුවන්නන් වන අතර, ඔවුන් මීගමුවේ 'ටැටූ' මධ්‍යස්ථානයකට අනුබද්ධ නවාතැනක රැඳී සිටියදී කොටුකරගෙන ඇත. විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, දීර්ඝ කාලයක් ජර්මනියේ වෙසෙන මෙම වෛද්‍යවරයා, සිය දෙහිවල නිවස පාළුවට යන බැවින් හිතවතෙකු මගින් මෙම 22 හැවිරිදි තරුණිය පසුගිය ජනවාරි මස 06 වැනිදා සිට නිවසේ නතර කරවා ඇති බවයි.

නිවස බලාගැනීමට පැමිණි තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගත් වෛද්‍යවරයා, තමා පෙර විවාහයෙන් දික්කසාද වී ඇයව විවාහ කරගෙන ජර්මනියට ගෙන්වා ගන්නා බවට පොරොන්දු වී තිබේ. ඒ සඳහා වීසා ගාස්තු ලෙස අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ හතළිස් පහක මුදලක් ඇයගේ බැංකු ගිණුමට දමා ඇති අතර, එම මුදල් ප්‍රංශයේ ඒජන්සියක නියෝජිතයකුට කොටුව ප්‍රදේශයේදී ලබාදුන් බවත්, ඒ සඳහා කිසිදු ලියවිල්ලක් නොලද බවත් ඇය වෛද්‍යවරයාට පවසා ඇත.

පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ මෙම මුදලට අමතරව, මාසික වියදම් සඳහාද වෛද්‍යවරයා විසින් රුපියල් ලක්ෂ තුන බැගින් ඇය වෙත එවා ඇති බවයි. එපමණක් නොව, වෛද්‍යවරයාගේ 'ට්‍රේලර් කාඩ්පතක' (Trailer Card) පිටපතක් රහසිගතව සිය පරිගණකයට බාගත කරගෙන ඇති තරුණිය, එමගින්ද මාසිකව රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් ලබා ගනිමින්, වෛද්‍යවරයාට නොදන්වා කුලී රථවල ගමන් කරමින් සහ අධික ලෙස ආහාරපාන ගෙන්වා ගනිමින් කාලය ගතකර ඇති බවද හෙළිවී තිබේ.




කෙසේ වෙතත්, සිය බිරිඳ ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින්, වෙනත් නිවසක පදිංචියට යන ලෙසත්, ඒ සඳහා මුදල් ලබා දෙන බවටත් වෛද්‍යවරයා දැනුම් දීමෙන් පසු, තරුණිය ඔහු සමග පැවති සියලු සබඳතා අත්හැර දුරකථනයද විසන්ධි කර තිබේ. ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වීම නිසා, ඉකුත් 06 වන දින වෛද්‍යවරයා ලංකාවට පැමිණ නිවස පරීක්ෂා කිරීමේදී මෙම මහා පරිමාණ සොරකම අනාවරණය වී ඇත. ඔහු විසින් විනෝදාංශයක් ලෙස එකතු කර තිබූ විදෙස් සහ දේශීය මත්පැන් බෝතල් 110ක් ද, පරිගණක සහ විදුලි උපකරණ ඇතුළු ලක්ෂ 30ක දේපළ ද සොරාගෙන ගොස් ඇති බවට ඔහු දෙහිවල පොලිසියට පැමිණිලි කර ඇත.

පැමිණිල්ලට අනුව විමර්ශන ක්‍රියාත්මක කළ දෙහිවල පොලිසිය, සැකකාර යුවළ මීගමුවේ 'ටැටූ' මධ්‍යස්ථානයක නවාතැනක සිටින බවට ලද තොරතුරක් මත ඉකුත් 22 වන දින ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ වෙතත්, සොරාගත් දේපළවලින් මේ වන විට සොයාගෙන ඇත්තේ කොටසක් පමණක් බවත්, වීසා ලබා දෙන බව පවසා ලබාගත් රුපියල් ලක්ෂ හතළිස් පහක මුදලට සිදුවූ දෙයක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.