ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලා මහතාට අමෙරිකානු ඩොලර් මිලියන දෙකක, එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 60ක් ඉක්මවන මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ ඝානා ජාතිකයන් එකොළොස් දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රත්‍රං විකිණීමේ මුවාවෙන් මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවට කරුණු වාර්තා වන අතර,
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත මුදා හැර ඇති බව ඝානා මාධ්‍ය වාර්තා කරයි.ඝානා ජාතික ආරක්ෂක කවුන්සිලයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ 2023 වසරේදී මෙම සැකකරුවන් හිටපු මන්ත්‍රීවරයාට රත්‍රං ලබා දෙන බවට පොරොන්දු වී අදාළ ඩොලර් මිලියන 02ක මුදල ලබාගෙන ඇති බවයි. එම මුදල ලැබීමෙන් පසු ඔවුන් හිස්බුල්ලා මහතා සමග පැවති සියලු සබඳතා අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, පසුව එම සැකකරුවන්ම යළිත් හිස්බුල්ලා මහතා සම්බන්ධ කර ගනිමින්, රත්‍රං කිලෝග්‍රෑම් 50ක් විකිණීමට ඉදිරිපත් වී ඇති අතර, එම ගනුදෙනුව නීත්‍යානුකූල එකක් ලෙස පෙන්වීම සඳහා අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇති බව අනාවරණය වී තිබේ.
ලැබුණු පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ ඝානා ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිලධාරීන් (ඔවුන් මෙම නඩුවේ පැමිණිලිකරුවන් ලෙස ද කටයුතු කරයි) 2025 ඔක්තෝබර් 16 වන දින වෙයිජා එස්.සී.සී. ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේදී රත්‍රං බවට සැකකෙරෙන කහ පැහැති ලෝහ කැබලි දෙකක් ද සොයාගෙන ඇති අතර, ඒවායේ සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් ප්‍රධාන පරීක්ෂක ජේකොබ් කූබල් මහතා අධිකරණයට දන්වා තිබේ. අපරාධ සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම, බොරු පොරොන්දු මත වංචා කිරීම සහ වංචා කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන්ට නඩු පවරා ඇති බවද පොලිසිය අධිකරණයට පවසා ඇත.
අධිකරණය විසින් සැකකරුවන් එකොළොස් දෙනාම ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත්තේ දැඩි ඇප කොන්දේසි යටතේය. ඒ අනුව, එක් අයෙකුට ඝානා සේඩි ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් නියම කර තිබේ. එම ශරීර ඇපකරුවන්ගෙන් එක් අයෙකු ඉඩමක් සහිත දේපළක හිමිකරුවෙකු විය යුතු අතර, එම දේපළේ මුල් ඔප්පුව අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දිය යුතු බවට ද නියෝග කර ඇත. මෙම සිද්ධියට අදාළ නඩුව 2025 නොවැම්බර් 20 වන දින නැවත කැඳවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval