boat-used-by-ishara-to-flee-to-india-found

 ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලවා හැරීම සඳහා යොදාගත් බෝට්ටුව යාපනයේ අරාළිතුඩුව වෙරළ තීරයේ තිබී සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. එම බෝට්ටුව පැදවූ බව කියන පුද්ගලයා ද මේ වන විට අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.



කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්,


ඉෂාරාට පලායාමට මඟ සලසා දුන් බවට සැකකෙරෙන ඒ. ආනන්දන් නමැත්තාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණි. එම ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස අශ්වබල 400ක එන්ජිමකින් සමන්විත මෙම බෝට්ටුව සහ එහි ක්‍රියාකරු සොයාගෙන ඇති අතර, බෝට්ටුව ආනන්දන්ට අයත් එකක් බවට ද තොරතුරු හෙළිවී තිබේ.

ඉෂාරා සෙව්වන්දි, ඉන්දියාවට පලායාමට භාවිත කළ බවට සැකකෙරෙන මෙම යාත්‍රාව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පෙරේදා (22) යාපනය ප්‍රදේශයේදීය.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ඉෂාරා සෙව්වන්දි යාපනයේ ගුරුනගරයේ සිට ඉන්දියාවට රැගෙන යාම සඳහා පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධ වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් වූ තොරතුරු ඔස්සේ මෙම බෝට්ටුව සොයාගෙන තිබේ. මෙම ගමන සඳහා දින එකහමාරක පමණ කාලයක් ගතවී ඇති බවටද තොරතුරු ලැබී ඇත.



යාපනයේ සිට ඉන්දියාව දක්වා තවත් තිදෙනකු සමග කුඩා බෝට්ටුවකින් මහ මුහුද තරණය කිරීම ඉතා බිහිසුණු මෙන්ම වෙහෙසකර අත්දැකීමක් වූ බව ඉෂාරා සෙව්වන්දි පොලිසියට පවසා ඇතැයි වාර්තා වේ. ගමන අතරතුර බෝට්ටුව පෙරළී තමන් මුහුදේ ගිලී මිය යනු ඇතැයි යන බියෙන් තමන් දැඩි ලෙස හැඬූ බවද ඇය පොලිස් නිලධාරීන් හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. 

ඉෂාරා රැගෙන ගිය අනෙක් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු, කේරළ ගංජා රැගෙන ඒමේ වෙනත් සිද්ධියකට අදාළව මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. එම චෝදනාවට අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු, ඉෂාරාව නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමේ චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. තුන්වන සැකකරු සිය ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර, ඔහුව ද ඉතා නුදුරේදීම අත්අඩංගුවට ගත හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.