ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සතියේ ආසියාවේ ප්‍රධාන පෙළේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත අතර, ගෝලීය ආර්ථිකයට දැවැන්ත බලපෑමක් එල්ල කළ හැකි චීන නායක ෂී ජින්පින් සමඟ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත හමුව කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමුවී තිබේ. තීරුබදු සහ භූ දේශපාලනික උණුසුම මධ්‍යයේ ධවල මන්දිරයට යළි පැමිණීමෙන් පසු ට්‍රම්ප් මහතා කලාපයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර, ඔහු මැලේසියාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවලට යාමට නියමිතය.
ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර පවතින දරුණු වෙළඳ යුද්ධය අවසන් කරමින් චීනය සමඟ "හොඳ ගනුදෙනුවක්" ඇති කර ගැනීම සිය අපේක්ෂාව බව ට්‍රම්ප් මහතා පැහැදිලි කර ඇත.
කෙසේ වෙතත්, මෙම සංචාරය පිළිබඳ බොහෝ තොරතුරු ධවල මන්දිරය විසින් මෙතෙක් හෙළි කර නොමැති අතර, පවතින ආතතීන් මධ්‍යයේ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත ෂී ජින්පින් හමුව සිදු නොවිය හැකි බවට ට්‍රම්ප් මහතාම අනතුරු අඟවා තිබේ.
සත්කාරක රටවල් 79 හැවිරිදි අනපේක්ෂිත නායකයා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටින අතර, ඔවුන්ගේ අරමුණ තීරුබදු සහ ආරක්ෂක සහාය සම්බන්ධයෙන් වාසිදායක ගනුදෙනු දිනා ගැනීමයි. ට්‍රම්ප් මහතාගේ පළමු නැවතුම මැලේසියාව වන අතර, ඔහු ඉරිදා සිට ලබන අඟහරුවාදා දක්වා ක්වාලාලම්පූර් නුවර පැවැත්වෙන ආසියාන් (ASEAN) සමුළුවට සහභාගී වනු ඇත. සිය පළමු ධුර කාලය තුළ ඔහු මෙම සමුළුව අවස්ථා කිහිපයකදීම මඟහැර තිබිණි.
මැලේසියාවේදී ට්‍රම්ප් මහතා එරට සමඟ වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතය. ඊටත් වඩා වැදගත් කරුණක් ලෙස, නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමේ සිය උත්සාහය ඉදිරියට ගෙන යමින්, තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවටද ඔහු එක්වනු ඇත. තායිලන්ත-කාම්බෝජ සාම සාකච්ඡාවල ධනාත්මක ප්‍රතිඵල දැකීමට ජනාධිපති ට්‍රම්ප් උනන්දුවෙන් පසුවන බව මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රාහිම් බදාදා ප්‍රකාශ කළේය.
එමෙන්ම, මාස ගණනාවක් පුරා පැවති නොහොඳ නෝක්කඩුකම් සමථයකට පත් කර ගැනීම සඳහා බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතා ද සමුළුව අතරතුර ට්‍රම්ප් මහතා හමුවීමට ඉඩ ඇති බව දෙරටේම නිලධාරීහු පවසා තිබේ. මැලේසියාවෙන් පසු ට්‍රම්ප් මහතාගේ මීළඟ නැවතුම ටෝකියෝව වන අතර, එහිදී ඔහු ජපානයේ ප්‍රථම අගමැතිනිය ලෙස මෙම සතියේ පත් වූ සනායි ටකයිචි මහත්මිය හමුවනු ඇත.
ට්‍රම්ප් මහතා ලොව පුරා රටවලට එරෙහිව පැනවූ දරුණුතම තීරුබදුවලින් ගැලවීමට ජපානය සමත් විය. එහෙත්, ජපානය රුසියානු බලශක්ති ආනයනය නතර කළ යුතු බවත්, බටහිර සහචරයින් මෙන් ආරක්ෂක වියදම් ඉහළ නැංවිය යුතු බවත් ට්‍රම්ප් මහතා ජපානයෙන් ඉල්ලා සිටී.
මෙම සංචාරයේ උච්චතම අවස්ථාව දකුණු කොරියාවේදී සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලබන බදාදා ඔහු ආසියා-ශාන්තිකර ආර්ථික සහයෝගිතා (Apec) සමුළුව සඳහා දකුණු කොරියාවට පැමිණීමට නියමිත අතර, චීන නායක ෂී ජින්පින් සමඟ තීරණාත්මක හමුව සිදුවනු ඇත්තේ එහිදී විය හැකිය.
Comments
Post a Comment
Your comment will be visible after approval