he-was-dragged-from-his-home-in-ratmalana-and-killed-over-drug-money

 ලබාගත් මත්ද්‍රව්‍ය සඳහා මුදල් නොගෙවීමේ සිද්ධියක් මුල් කරගෙන, රත්මලාන ඥානේන්ද්‍ර පාරේ නිවසක සූදු ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයෙකු එම නිවසින් පිටතට ඇදගෙන ගොස් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ද සිටින බව පොලිසිය තහවුරු කළේය.



මෙම ඝාතනයෙන් මියගොස් ඇත්තේ මොරටුව, අඟුලාන, සයුරපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි ටී. හංසක සමීර ප්‍රනාන්දු නැමැති අයෙකි.


මරණකරු ඉකුත් 18 වන දින තවත් පිරිසක් සමග රත්මලානේ පිහිටි අදාළ නිවසේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටියදී, මුහුණු ආවරණය කරගත් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානයට කඩා වැදී ඇත. ඔවුන් මරණකරු නිවසින් එළියට ඇදගෙන ගොස් පිහිවලින් හා කඩුවලින් පහරදී බරපතළ තුවාල සිදු කර පළා ගොස් තිබිණි.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ හංසක සමීර ප්‍රනාන්දු පළමුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව,


වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී දින දෙකක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඉකුත් 20 වන දින මිය ගියේය. ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික වත්තේගම මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පදාදු මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම විමර්ශනය සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පහරදීම සඳහා භාවිත කළ කඩුවක් සහ වක් පිහියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 25 ත් අතර පසුවන්නන් වන අතර, ඔවුන් රත්මලාන බංගලාව පාර, කල්දේමුල්ල සහ රත්මලාන ඥානේන්ද්‍ර පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.