තම පැරණි සරසවි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ඇයගේ වත්මන් පෙම්වතා වෙත වට්ස්ඇප් මගින් යොමු කළ බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරුණයෙකු ශරීර ඇප මත මුදා හරින ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්දු රංජන් බංඩාර මහතා නියෝග කළේය.
රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට මෙසේ නියම වූ අතර, පැමිණිලි පාර්ශ්වයට හෝ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට කිසිදු බලපෑමක් නොකරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා සැකකරුට දැඩිව නියෝග කළේය.
මෙලෙස ඇප නියම වූයේ පේරාදෙණිය, හත්දෙස දවලදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. ගල්ගමුව, පාලුකඩවල ප්‍රදේශයේ පදිංචි සරසවි සිසුවියක විසින් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් වාරියපොල උප ඒකකයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් වාරියපොල උප ඒකකයේ නිලධාරීන් කියා සිටියේ, සැකකරු විසින් සිය පෙම්වතියව සිටි තරුණියගේ නිරුවත් ඡායාරූප, ඇයගේ අලුත් පෙම්වතා ලෙස සැලකෙන පුද්ගලයෙකුට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ යවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රන්දුනු සේනාරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින්, තම සේවාදායකයා සහ පැමිණිලිකාර සරසවි සිසුවිය වසර තුනක කාලයක් පුරා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පැවසීය. එම සම්බන්ධය පවතින අතරවාරයේ පැමිණිලිකාරිය වෙනත් පුද්ගලයෙකු සමගද ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, තම සේවාදායකයා විසින් අනෙක් පෙම්වතාට යැවූ බව කියන අදාළ නිරුවත් ඡායාරූප, පැමිණිලිකාරිය විසින්ම ඇයගේ ජංගම දුරකතනය භාවිත කරමින් තම සේවාදායකයාගේ ජංගම දුරකතනයට එවා තිබූ ඒවා බවයි. එම කරුණු සැලකිල්ලට ගෙන තම සේවාදායකයාට ඇප ලබා දෙන මෙන් නීතිඥවරයා අධිකරණයෙන් අයැද සිටියේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්දු රංජන් බංඩාර මහතා, සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, සැකකරු නියමිත ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. පැමිණිල්ල මෙහෙයවීම සඳහා පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් වාරියපොල උප ඒකකයේ නිලධාරීහු අධිකරණයට පැමිණ සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval