four-buildings-in-colombo-including-mahindas-former-official-residence-to-be-converted-into-high-courts

 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025–2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති වගකීම් ඉටුකිරීමේ පියවරක් ලෙස, කඩිනමින් නව මහාධිකරණ හතරක් (04) ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබා දීමට රජය තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇත.



මෙම නව අධිකරණ පිහිටුවීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි වෙන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරනු ලැබූ අතර,



ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළ වී තිබේ. ඒ අනුව, දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය භාරයේ පවතින කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි කිහිපයක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාර දීමට නියමිතය.

අදාළ අමාත්‍යාංශය වෙත මෙලෙස භාර දෙනු ලබන ගොඩනැගිලි අතරට අංක B 88, ග්‍රෙගරි පාර, අංක C 76, බෞද්ධාලෝක මාවත, අංක 3/12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය සහ අංක B 108, විජේරාම පාර යන ලිපිනයන්හි පිහිටි ස්ථාන අයත් වේ.

මෙහිදී මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා වෙන් කර ඇති විජේරාම පාරේ පිහිටි අංක B 108 දරණ නිවස, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමයේ භාවිත කර පසුගියදා ඔහු අත්හළ නිල නිවස වීම ද විශේෂත්වයකි. මෙම නව මහාධිකරණ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ද අද දින අදහස් පළ කළේය.

gossiplanka image 1



gossiplanka image 2
gossiplanka image 3