පුවත්පතක පළ කරන ලද ව්‍යාජ මංගල යෝජනා දැන්වීමක් මගින් පුද්ගලයෙකු රවටා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වංචා කළ බව කියන අඹුසැමි යුවළකට දඬුවම් නියම කිරීම, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ලබන ජනවාරි මස 6 වැනිදා දක්වා කල් තබන ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි, කොළඹ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි මෙම සැකකාර අඹුසැමි යුවළ, තමන් විසින් මෙම වංචාව සිදුකළ බවට අධිකරණය හමුවේ වරද පිළිගැනීම ද මෙහිදී සිදුවිය.
පිටකොටුව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ,
සැකකාර යුවළ විසින් තම දියණිය සඳහා සහකරුවෙකු සොයන මුවාවෙන් මෙම පුවත්පත් දැන්වීම පළ කර ඇති බවයි. සැකකාර ස්වාමිපුරුෂයා විසින් අදාළ දැන්වීම සඳහා තම බිරියගේ ජංගම දුරකථන අංකය සහ තොරතුරු, දියණියගේ තොරතුරු ලෙස හඟවමින් ඇතුළත් කර ඇති බවත්, ඔවුන් දෙදෙනාම එක්ව සැලසුම් සහගතව මෙම වංචාව සිදුකර ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට වැඩිදුරටත් වාර්තා කළහ.
පුවත්පතේ දැන්වීම දැකීමෙන් පසු පැමිණිලිකරු, දියණිය ලෙස පෙනී සිටි සැකකාර බිරියගේ දුරකථනයට අමතා ඇති අතර, දෙදෙනා අතර වර්ධනය වූ සුහදතාවය මත පදනම්ව විවාහය සඳහා කැමැත්ත පළ කිරීමට සැකකාරිය කටයුතු කර තිබේ. පසුව, විවාහයට පෙර අවශ්‍යතා සඳහා බව පවසමින් මුදල් ඉල්ලා ඇති අතර,
ඒ අනුව පැමිණිලිකරු විසින් ඇයගේ බැංකු ගිණුමට රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක මුදලක් තැන්පත් කර ඇති බව විමර්ශන මගින් තහවුරු වී ඇත.
සැකකාර යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාලක ජයසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයන් සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවත්, වංචා සහගත ලෙස ලබාගත් මුදල පැමිණිලිකරු වෙත නැවත ගෙවීමට සූදානම් බවත්ය.
ඉදිරිපත් වූ සියලු කරුණු, සැකකරුවන්ගේ වරද පිළිගැනීම සහ මුදල් නැවත ගෙවීමට එකඟ වීම යන කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, දඬුවම් නියම කිරීම මෙලෙස කල් තැබීමට නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval