lasa-who-was-accompanied-by-15-personal-guards-was-killed-for-giving-a-tip

 වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ කැකිරාව ප්‍රදේශයේදී සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම්වලදී කාන්තාවක් ද සැකකරුවන් අතර වන බවයි.



පසුගිය 22 වන දා උදෑසන වැලිගම ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ පිහිටි සිය නිල කාර්යාලය තුළදී සභාපතිවරයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්විය.


සුදු පැහැති කමිසයකින් සහ කළු පැහැති මුඛ ආවරණයකින් සැරසී පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු, සිය නිල අසුනේ අසුන්ගෙන සිටි සභාපතිවරයා ඉලක්ක කර වෙඩි ප්‍රහාර හතරක් පමණ එල්ල කර තිබුණි. වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරු තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් පලා යන අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව තිබූ බව වාර්තා විය.

වෙඩි ප්‍රහාරවලින් හිස, ගෙල සහ පපුව ප්‍රදේශයට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය සඳහන් කළේය.

මිදිගම ලසා යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වූ ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භ වී ඇත. මෙම ඝාතනය දකුණු පළාතේ ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක් විසින් යුද හමුදාවෙන් පලා ගිය සෙබළෙකුට ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට විමර්ශන මගින් තොරතුරු හෙළිදරව් වී තිබේ.