වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉකුත් 22 වන දින නාඳුනන තුවක්කුකරුවෙකු අතින් ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පුළුල් විමර්ශනයක් දියත් කර තිබෙන අතර තවත් සැකකරුවෙකු සෙවීම සඳහා ඡායාරූපයක් නිකුත් කර ඇති පොලිසිය ඔහු සොයා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා තිබේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ සැලසුම් සහගත මෙහෙයුමකදී, අපරාධයට සම්බන්ධ සැකකරුවන් අනුරාධපුර කොට්ඨාසයේ, කැකිරාව පොලිස් වසමේ 'නිවාස 50' ප්‍රදේශයේ සැඟවී සිටින බවට තොරතුරක් අනාවරණය කරගෙන ඇත. ඒ අනුව, අද (26) දින අළුයම් කාලයේදී එම කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදා නිලධාරීන් එක්ව, කමතක් සඳහා භාවිත කර අත්හැර දමා තිබූ ඉඩමක පිහිටි නිවසක් වටලා පරීක්ෂා කර තිබේ. එහිදී මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, ඔවුන් සමග සිටි තවත් පිරිසක් පොලිස් නිලධාරීන් සමග පොරබැදීමක් සිදුකර ඇති අතර, එම අවස්ථාවේ තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී, අපරාධය සඳහා භාවිත කළ බවට සැකකෙරෙන යතුරුපැදියක්, රුපියල් ලක්ෂ දොළහ ඉක්මවූ මුදලක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නා උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම ප්‍රධාන සැකකරුවන්ට නවාතැන් හා පහසුකම් සලසමින් එම ප්‍රදේශයේම පදිංචිව සිටි තවත් පුද්ගලයෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් සමග ඇතිවූ පොරබැදීම අතරතුර එක් සැකකරුවෙකු පළා ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරයි. මෙසේ පළාගොස් ඇත්තේ අඟුළුගම, බැඳිපිට, කොන්තපෙන ලිපිනයේ පදිංචි හක්මන පරනලියනගේ නුවන් තාරක නැමැත්තෙකි.
අදාළ සැකකරු ආසන්න වශයෙන් අඩි 5 අඟල් 6ක් උස වන අතර, ඔහුගේ දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් "ANURADA" ලෙසත්, වම් අතේ "හිතුමතේ ජීවිතේ" ලෙසත් පච්ච කොටා ඇති බව පොලිසිය හඳුනාගෙන ඇත. මොහු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම්, 'පොලිස්පතිට කියන්න' 071 859 8888 දරණ වට්ස්ඇප් අංකයට හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ 011 233 7162 / 071 859 2087 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, දකුණු පළාත්, මාතර සහ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදා නිලධාරීන් එක්ව පළාගිය සැකකරු ඇතුළු මෙම අපරාධයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අඛණ්ඩව සිදුකරමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval