ජනප්‍රිය රංගන ශිල්පිනියක බත්තරමුල්ල වෝටර්ස් ඒජ් රථ ගාලේදී සිදු කළ රිය අනතුර සම්බන්ධයෙන් මින් ඉහත අප වාර්තා කර තිබුණි. දැන් වාර්තාවන්නේ මෙම අනතුර සිදුකර ඇත්තේ මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන අයේෂා දිසානායක බවයි.
ඇයට අයත් කළුපැහැති නවීන BYD රථය අපරීක්ෂාකාරී ලෙස පසුපසට ධාවනය කරද්දී රථගාලේ ගමන් කරමින් සිටි වෝටර්ස් ඒජ් සේවිකාවන් දෙදෙනෙකු අනපේක්ෂිත ලෙස ඇය යටකර දමා තිබූ අතර සිද්ධියෙන් එම දෙන්නා බරපතල තුවාල ලබා තිබුණි.
මෙම සිදුවීම දැක තමාට පපුවේ අමාරුවක් ඇතිවූ බව කීම නිසා නිළියද එම අවස්ථාවේ රෝහල්ගත කර තිබෙන අතර ඇය පසුව රෝහලේදී වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 20 වන දින පෙරවරු 10.30 ත් 11.00 ත් අතර කාලයේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
රංගන ශිල්පිනිය පැදවූ නවීන BYD මෝටර් රථය අදාළ හෝටල් පරිශ්‍රයේ රථ ගාලේදී එකවරම පසුපස දෙසට ධාවනය වීමේදී මෙම අනතුර සිදුව ඇත.
වාර්තාවන පරිදි, මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සේවිකාවන් දෙදෙනෙකි.
බරපතළ තුවාල ලැබූ මෙම සේවිකාවන් දෙදෙනා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. එක් තැනැත්තියක් කොළඹ ජාතික රෝහලේත්, අනෙක් තැනැත්තිය ජයවර්ධනපුර මහ රෝහලේත් ප්‍රතිකාර ලබන බව පොලිසිය තහවුරු කළේය. එක් සේවිකාවකගේ කශේරුකාවට හෝ උකුල් ඇටය ආශ්‍රිත ප්‍රදේශයට බරපතළ හානි සිදුව ඇති අතර, අනෙක් සේවිකාවගේ පාදයකට දැඩි හානි සිදුවී හෝ බිඳී ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
අනතුර සිදු වූ වහාම, රංගන ශිල්පිනී අයේෂා දිසානායක හට හදිසි හෘදයාබාධ තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඇයව ද 1990 ගිලන් රථ සේවාවක් මගින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.
මේ දිනවල ජනප්‍රිය 'රට පවුල' නමැති ටෙලි නාටකයේත්, දිව්‍යාදරී, මල්පිපෙන කාලේ, ඇතුල්වීම තහනම් ඇතුළු තවත් ටෙලි නාටක කිහිපයකත් රංගනයට සම්බන්ධ වී සිටින අයේෂා දිසානායක රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයව පසුගිය 22 වන දින පොලිස් අත්අඩංගුවට ගෙන, 23 වන දින ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත. අනතුරට පත් වූ කාන්තාවන් දෙදෙනා වෙනුවෙන් රුපියල් 250,000 බැගින් වූ සානුකම්පිත දීමනාවක් ලබා දීමට ද රංගන ශිල්පිනිය අධිකරණය හමුවේ එකඟත්වය පළ කර තිබේ.
අදාළ නඩුව ලබන 29 වන දින කොළඹ අලුත්කඩේ 07 දරණ අධිකරණයේදී නැවත කැඳවීමට නියමිතය. සිද්ධිය වන අවස්ථාවේ නිළිය මත්පැන් පානය කර සිටියේද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන අතර, බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම යටතේ වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval