
පුරාවස්තු කැණීමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් මත පොලිස් පරීක්ෂකවරයකු නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් කිරිඇල්ල පොලිසිය ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව, අදාළ පොලිස් පරීක්ෂකවරයාට වන්දි වශයෙන් රුපියල් 50,000ක් සහ නඩු ගාස්තු ලෙස රුපියල් 25,000ක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) රජයට නියෝග කළේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ පොලිස් පරීක්ෂක දොන් සුසිල් අත්තනායක මහතා විසිනි. කිරිඇල්ල පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු විසින් තමන්ව නිකරුණේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් සිය මූලික අයිතීන් කඩවූ බව පවසමින් ඔහු මෙම වන්දි ඉල්ලා තිබිණි.
පෙත්සම් විභාගයේදී හෙළි වූ කරුණුවලට අනුව, පෙත්සම්කාර පොලිස් පරීක්ෂකවරයා සිය බිරිඳට අයත් කිරිඇල්ලේ පිහිටි ඉඩමක තවත් තිදෙනෙකු සමග බහිරව පූජාවක් පවත්වමින් සිටියදී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් පැමිණ තිබේ. එහිදී ඔවුන් පෙත්සම්කරු ඇතුළු සිව් දෙනා අත්අඩංගුවට ගෙන, පුරාවස්තු සොරකම් කළ බවට චෝදනා කරමින් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. පසුව ඔවුන්ව රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර, අනතුරුව ඇප මත මුදා හැර තිබිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කිරිඇල්ල පොලිසියේ හිටපු ස්ථානාධිපති, දැනට මියගොස් සිටින පරීක්ෂක සුදත් බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන සිල්වා සහ පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන ඇඹුල්දෙනිය සහ චන්ද්‍රසිරි යන මහත්වරුන් නම් කර තිබිණි. වගඋත්තරකරුවන් අධිකරණයට දන්වා තිබුණේ තමන්ට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම විභාගයට ගැනිණි. සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ දැක්වෙන්නේ, පෙත්සම්කරු සහ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අතර පෞද්ගලික අමනාපයක් තිබී නැතත්, මෙම අත්අඩංගුවට ගැනීම මගින් හිටපු ස්ථානාධිපතිවරයා පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට අධිකරණය නිගමනය කරන බවය.
කෙසේ වෙතත්, අදාළ අවස්ථාවේ කිරිඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියා මේ වන විට මියගොස් ඇති බැවින්, ඔහුට එරෙහිව පෞද්ගලිකව වන්දි නියම කළ නොහැකි බව තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය. ඒ අනුව, පෙත්සම්කරුට අදාළ වන්දිය සහ නඩු ගාස්තුව ගෙවීමට විනිසුරු මඬුල්ල රජයට නියෝග කළේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval