bail-granted-to-three-excise-officials-who-were-not-charged-with-bribery

හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ සහෝදරියකගෙන් රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සුරාබදු නිලධාරීන් තිදෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඊයේ (30) නියෝග කළේය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන මාසයක් ගතවී ඇතත්, විමර්ශන සිදුකරන උතුරු පළාත් අපරාධ කොට්ඨාසය හෝ අල්ලස් කොමිසම ඔවුන්ට එරෙහිව නිශ්චිත චෝදනාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා සිය දැඩි අප්‍රසාදය පළ කළේය.



නිශ්චිත චෝදනාවක් නොමැතිව සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබාගත නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, අදාළ වරද නිශ්චිතව සඳහන් කර අධිකරණයෙන් නියෝග ලබාගැනීම විමර්ශන අංශවල වගකීම බව අවධාරණය කළේය. සැකකරුවන් බන්ධනාගාරගත කළේ කුමන හේතුවක් මතදැයි කිසිදු නිලධාරියෙක් නොදැන සිටීම පිළිබඳවද මෙහිදී අධිකරණයේ විමසුමට ලක්විය.

ශිව බාලේන්ද්‍රන් ජයසාන්තන්, තුරේ සිංහම් නිමලන් සහ මාණික්‍ය වාසගම් සිවරාජ් යන සුරාබදු නිලධාරීන් පසුගිය අගෝස්තු 30 වන දින උතුරු පළාත් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. පසුව එම අධිකරණය විසින් මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත යොමුකරන ලෙස නියෝග කර ඇත. එහෙත්, අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ විමර්ශන පැවැත්විය හැකිද යන්න පිළිබඳව තවමත් අධ්‍යයනය කරමින් සිටින බවය.



දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට විදෙස් ගමන් තහනමක්ද පැනවීය. තවද, මල්ලාකම් අධිකරණයේ ඇති සියලුම නඩු ගොනු සහ වාර්තා වහාම සිය භාරයට ගන්නා ලෙස අල්ලස් කොමිසමට නියෝග කළ අතර, විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබන 14 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කළේය.