fake-cricketer-caught-distributing-drugs-to-colombo-super-team

කොළඹ සුපිරි සමාජශාලා සහ තරු පන්තියේ හෝටල් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ කොකේන් ජාවාරමක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් වටලා තිබේ. මෙම වැටලීමේදී රුපියල් කෝටි 15ක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් තුනක් සමඟ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

ජාවාරම මෙහෙයවූ ප්‍රධානියා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස පෙනී සිටිමින් ජාවාරම සිදුකර ඇති අතර,

ඔහුගේ සහයකයා පොලිස් නිලධාරියෙකු ලෙස රඟපාමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට දායක වී ඇති බව අනාවරණය වී තිබේ.

මෙම ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ, ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු අධික වටිනාකමකින් යුතු ක්‍රිකට් ආම්පන්න රැගත් බෑගයක් යොදාගනිමින් සිය මෝටර් රථයෙන් සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට බළකායේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී උදය කුමාර මහතා වෙත ලැබුණු තොරතුරකට අනුවය. ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක්, පානදුර, හිරණ, ගල්තුඩේ ප්‍රදේශයේ නිවසක් වටලා ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු සතුව තිබී කොකේන් කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ. පොලිස් නිලධාරීන් එම නිවසේ රැඳී සිටින අතරතුර,

මත්ද්‍රව්‍ය රැගෙන යාම සඳහා තවත් පුද්ගලයෙකු මෝටර් රථයකින් එම ස්ථානයට පැමිණ ඇති අතර, ඔහුවද වහාම අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ තවත් කොකේන් කිලෝග්‍රෑම් එකක් සොයා ගැනීමට හැකි වූ අතර, ඔහු ප්‍රධාන සැකකරුගේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නා බවට තහවුරු විය.

අත්අඩංගුවට ගත් දෙවන සැකකරුගේ මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේදී එහි තිබී පොලිස් හැඳුනුම්පත් දෙකක් හමුවී ඇත. වැඩිදුර විමර්ශනයේදී එම හැඳුනුම්පත් ගල්කිස්ස පොලිසියට අනුයුක්ත බඩෝවිට පොලිස් මුරපොළේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් බවට හෙළිවිය. මාර්ග බාධකවලදී වාහනය පරීක්ෂාවට ලක් කිරීමකින් තොරව ගමන් කිරීම සඳහා තමන් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මෙම හැඳුනුම්පත් ඉදිරිපත් කළ බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්ඡාරණය කර තිබේ.