පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මාරාන්තික මී උණ රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරයි. මෙම වසරේ මේ දක්වා කාලය තුළ මරණ 10ක් වාර්තා වී ඇති අතර, ඉතිරි මරණ පසුගිය වසරේදී සිදුවී ඇතැයි
අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග පිළිබඳ වෛද්‍ය තේජන සෝමතිලක මහතා ප්‍රකාශ කළේය.මෙම කාලසීමාව තුළ දිස්ත්‍රික්කයෙන් මී උණ ආසාදිතයින් 743 දෙනෙකු වාර්තා වී තිබීම රෝගයේ ව්‍යාප්තියේ බරපතලකම පෙන්වා දෙන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්ෂිකව මී උණ රෝගීන් 300කට අධික සංඛ්‍යාවක් හඳුනාගැනෙන අතර, වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 15ත් 20ත් අතර අගයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය. මීයන්ගේ මුත්‍රා මගින් අපවිත්‍ර වන ජලයේ ජීවත්වන බැක්ටීරියාවක් මගින් මෙම මාරාන්තික රෝගය ව්‍යාප්ත වේ.
මිනිස් සිරුරේ සම මතුපිට ඇති තුවාල, මුඛයේ ඇති සියුම් කැපුම් හෝ අක්ෂි පටල හරහා මෙම බැක්ටීරියාව ශරීරගත වන බව වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැහැදිලි කළේය. විශේෂයෙන් ගොවි ජනතාව කුඹුරු වැඩවල නිරත වීමේදී සිරුරේ ඇති තුවාල මඩ වතුර හා ස්පර්ශ නොවන ලෙස ආවරණය කර ගැනීම හෝ ආරක්ෂිත පා ආවරණ පැළඳීම මගින් රෝගය වැළඳීමේ අවදානම අවම කරගත හැකිය. එසේම, කුඹුරු නියර ශක්තිමත්ව සහ පිරිසිදුව පවත්වා ගැනීමෙන් මීයන්ගේ ගහනය පාලනය කළ හැකි බවද ඔහු අවධාරණය කළේය.
රෝගය වැළැක්වීම සඳහා භාවිත කරන ඩොක්සිසයික්ලින් නමැති ඖෂධය ඉතා ආරක්ෂාකාරී බවත්, ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට සතියකට පෙර සිට ඒවා අවසන් වන තෙක් සතියකට කරල් දෙක බැගින් ලබා ගැනීමෙන් මී උණෙන් ආරක්ෂා විය හැකි බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය. කෘෂිකාර්මික කටයුතුවල නිරත වන අතරතුර උණ රෝග ලක්ෂණ පහළ වුවහොත්, ප්‍රමාදයකින් තොරව රජයේ රෝහලක් වෙත යොමු වී අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval