
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ ක්‍රියා කිහිපයකටම සම්බන්ධ බව කියන විසිහය හැවිරිදි තරුණයකු ඊයේ (19) අලුයම ගල්කිස්ස මුහුදුබඩ පාරේදී දරුණු ප්‍රහාරයකට ලක්ව තිබේ. මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් පස් දෙනකු විසින් මන්නා පිහිවලින් කපා කොටා සිදු කළ මෙම ප්‍රහාරයෙන්
තරුණයාගේ එක් අතක් මැණික් කටුව ආසන්නයෙන් සිරුරෙන් වෙන් වී ගොස් ඇති බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වාර්තා කරයි. ඔහුගේ හිසට සහ පාදවලට ද බරපතළ කැපුම් තුවාල සිදු වී ඇති අතර, අඟුලාන සයුරපුර නිවාස සංකීර්ණයේ පදිංචි මෙම තරුණයා මේ වන විට දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරන පරිදි, ප්‍රහාරයට ලක්වූ තරුණයා මීට පෙර ද හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධියකට සහ පුද්ගලයන් දෙදෙනකුට කපා කොටා තුවාල සිදු කිරීමේ චෝදනාවලට අඟුලාන පොලිසිය මගින් අත්අඩංගුවට පත්වූවෙකි. එම චෝදනාවලට කලක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ ඔහු, ඇප මත නිදහස් වී සිට ඇති අතර, දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවකු බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ මුදල් ආරවුලක් මෙම කපා කෙටීමට හේතු වන්නට ඇති බවට පොලිසිය මූලික වශයෙන් සැක කරයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත පුළුල් පරීක්ෂණයක් දියත් කර තිබේ. බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ගුණසේකර යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ, ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දල්පදාදු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
Comments
Post a Comment
Your comment will be visible after approval