a-facebook-scam-using-photos-of-children-at-apeksha-hospital

 මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ ඡායාරූප යොදාගනිමින් ෆේස්බුක් හරහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (15) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරුවන් රක්වාන සහ ඕපනායක ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 29 සහ 32 වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.






මෙම වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ අගතියට පත් දරුවන්ගේ දෙමව්පියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට අනුබද්ධිත අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි විමර්ශන ඒකකයට කරන ලද පැමිණිලිවලට අනුවය.

සැකකරුවන් මෙම දරුවන්ගේ ඡායාරූප වංචනික ලෙස ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. දරුවන්ට ඉක්මන් සුවය පතා ඔවුන්ගේ දෙමව්පියන් විසින් විවිධ ආගමික ස්ථානවල තබා තිබූ ඡායාරූප මෙලෙස ලබාගෙන තිබේ.




අනතුරුව, එම ඡායාරූප යොදාගනිමින් මහජනතාවගේ සංවේදීත්වය අවුස්සන සුළු සටහන් සමගින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙහි පළ කිරීමට මෙම කල්ලිය කටයුතු කර ඇත. දරුවන්ගේ ප්‍රතිකාර සඳහා බව පවසමින් මහජනතාවගෙන් මුදල් ආධාර ඉල්ලා විවිධ බැංකු ගිණුම් අංක ද එහි සඳහන් කර තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

පොලිසිය සිදුකළ විමර්ශනවලට අනුව, මෙම සංවිධානාත්මක කණ්ඩායම සැලකිය යුතු කාලයක සිට මෙම මුදල් වංචාවේ නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූවන් බව ද පොලිසිය සඳහන් කරයි. ඔවුන් සතුව තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.