
විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවන බව කියන කොහුවල බෝධිය වත්තේ පදිංචි අවිශ්ක නැමැත්තාට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවන් තිදෙනෙකු කැස්බෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග මොවුන් කැස්බෑව, තානායම පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ බව පොලීසිය ප්‍රකාශ කළේය.
මෙම වැටලීමත් සමගම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු එය එම ස්ථානයේම අතහැර දමා පළා ගොස් ඇති බව වාර්තා වේ. එසේ පළා ගොස් ඇත්තේ අත්අඩංගුවට පත් කාන්තාවගේ සැමියා බව පොලීසිය හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අතර එම කාන්තාවගේ පියා සහ ත්‍රිරෝද රථ රියදුරෙකු ද වන බව පොලීසිය සඳහන් කළේය.
මෙම වැටලීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විට, අත්අඩංගුවට ගත් කාන්තාව කුඩා ඉටි බෑගයක් නිවස පිටුපස සැඟවීමට උත්සාහ කර තිබේ. එය පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සොයාගෙන ඇත. මීට අමතරව, පළා ගිය සැකකරු අතහැර දමා ගිය යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සොයා ගැනීමට පොලීසිය සමත් විය. ජාවාරම සඳහා යොදාගත් එම යතුරුපැදිය, ජංගම දුරකතනයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් 146,400 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
කැස්බෑව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.පී. කලංසූරිය මහතා වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. තානායම පාරේ නවීකරණය වෙමින් පවතින නිවසක් ඉදිරිපිට සැකකටයුතු පිරිසක් ගැවසෙන බවට එම තොරතුර ලැබී තිබිණි. පළා ගිය සැකකරු, විදේශගතව සිටින ජාවාරම්කරු වන අවිශ්කගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන්නෙකු බවට හඳුනාගෙන ඇත. තවද, අත්අඩංගුවට පත් සැකකාරියට සහ ඇයගේ පියාට මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කිහිපයක් පවතින බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval