
මාතර මොරවක මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකුගේ ගෙල මිරිකා, ඔහුව කුඹුරකට තල්ලු කර දමා එම සැකකරු පලා ගොස් තිබේ. මෙම සිදුවීම පෙරේදා (19) සවස මාතර කොස්මෝදර පොලිස් වසමෙන් වාර්තා විය.
සැකකරුගේ ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ අදාළ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා මොරවක රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ ගෙල ප්‍රදේශයේ සහ එක් පාදයක තුවාල සලකුණු දක්නට ලැබෙන බව පොලිසිය සඳහන් කළේය.කොස්මෝදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.කේ. මල්දෙණිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීම පිණිස කොටපොළ, ගල්දොළ, පරණවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙස වෙත ගොස් තිබේ. පොලිස් නිලධාරීන් නිවෙසට ළඟා වනවාත් සමඟම සැකකරු නිවෙස ආසන්නයේ පිහිටි කැලෑ රොදකට පැන දිව ගොස් සැඟවී ඇත. පසුව, පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝගයක් මත, එක් පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනි අවිය ස්ථානාධිපතිවරයා වෙත භාර දී, කැලෑවට ඇතුළු වී සැඟවී සිටි වරෙන්තුකරු අල්ලා ගැනීමට සමත් වී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු විසින් කොස්තාපල්වරයාගේ ගෙල ප්‍රදේශය තදින් මිරිකා ඇත. එම අවස්ථාවේ කොස්තාපල්වරයාගේ ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල වූ බැවින්, සැකකරු බිය ගැන්වීමේ අරමුණින් ස්ථානාධිපතිවරයා විසින් සිය භාරයේ තිබූ ටී පනස් හය වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියෙන් අහසට වෙඩි වාර දෙකක් තැබූ බව පොලිසිය ප්‍රකාශ කළේය. වෙඩි තැබීමත් සමඟ බියට පත් වරෙන්තුකරු, කොස්තාපල්වරයා අසල වූ කුඹුරකට තල්ලු කර දමා නැවතත් පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval