පාතාල නායකයකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකුණු ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට යොදාගත් රිවෝල්වරය, නීති පොතක් තුළ සඟවා වෙඩික්කරු වූ හිටපු කමාන්ඩෝ සෙබළා වෙත ලබා දුන් බව කියන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ඉන්දියාවට පන්නා යැවීම සඳහා ආධාර කළ උතුරේ පදිංචි මිනිස් ජාවාරම්කරුවකු සොයා
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සැකකාර ජාවාරම්කරු මීට පෙරද විවිධ අපරාධකරුවන් සහ වෙනත් පුද්ගලයන් නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ඉන්දියාවට රැගෙන ගිය අයෙකු බවට පොලිස් ආරංචි මාර්ග මගින් තොරතුරු අනාවරණය වී ඇත.මෙම මිනිස් ජාවාරම්කරු වෙත අදාළ කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ඒ අනුව, පසුගිය මැයි මස 06 වැනිදා ඉෂාරා සෙව්වන්දි තවත් තිදෙනකුගේ ආරක්ෂාව මධ්‍යයේ යාපනය, ගුරු නගර් ජැටියෙන් කුඩා බෝට්ටුවකට නංවා ඉන්දියාව බලා පිටත් කර හැර ඇති බව දැනගන්නට ඇත. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ඉෂාරා ඉන්දියාවට ඇරලවීමෙන් අනතුරුව එම තිදෙනා යළිත් එම බෝට්ටුවෙන්ම යාපනයට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත්, මෙම තිදෙනාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කර ගත හැකි වනු ඇත්තේ ඉෂාරා පන්නා යැවීමේ මෙහෙයුම මෙහෙයවූ ප්‍රධාන මිනිස් ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව පොලිසිය විශ්වාස කරයි.
යාපනයේ සිට ඉන්දියාව දක්වා තවත් තිදෙනකු සමග කුඩා බෝට්ටුවකින් මහ මුහුද තරණය කිරීම ඉතා බිහිසුණු මෙන්ම වෙහෙසකර අත්දැකීමක් වූ බව ඉෂාරා සෙව්වන්දි පොලිසියට පවසා ඇතැයි වාර්තා වේ. ගමන අතරතුර බෝට්ටුව පෙරළී තමන් මුහුදේ ගිලී මිය යනු ඇතැයි යන බියෙන් තමන් දැඩි ලෙස හැඬූ බවද ඇය පොලිස් නිලධාරීන් හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ අතර, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ඊයේ (දිනය) කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස්, ඇය ඉන්දියාවට පලා යෑමට පෙර සැඟව සිටි නිවාස දෙකක් ද පරීක්ෂාවට ලක් කරන ලදී.
එහිදී ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් සපයන ලද එක් නිවසක සිටි පුද්ගලයකු කොළඹින් ගිය පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනෙක් නිවස එම අවස්ථාවේ වසා දමා තිබූ අතර එහි කිසිවකු නොසිටි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
එම නිවසේ පදිංචිකරුවන් හඳුනාගෙන ඔවුන් ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි. ඉන්දියාවට පලා යෑම සඳහා ඇය බෝට්ටුවට ගොඩ වූ ගුරුනගර් ජැටිය වෙත ද ඉෂාරා ඊයේ දිනයේ කැඳවාගෙන යෑමට නියමිතව තිබිණි. ඇය උතුරේ ප්‍රදේශ කරා රැගෙන ගොස් ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය.
කිලිනොච්චිය ඇතුළු ප්‍රදේශවල සිදු කළ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඉෂාරා සෙව්වන්දි ඊයේ රාත්‍රියේම නැවත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ඒමට නියමිතව තිබිණි. මෙම සමස්ත විමර්ශන ක්‍රියාවලිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා කෙහෙල්බද්දර පද්ම හට තමන් ආධාර කළේ මුදල් ලබා ගැනීමේ අරමුණින් නොවන බව ඉෂාරා පොලිසියට පවසා ඇති බවද කියැවේ. තමන්ව යුරෝපීය රටකට යවන බවට ලැබුණු පොරොන්දුව ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන්, ගිනි අවිය නීති පොතක් තුළ සූක්ෂම ලෙස සඟවා ඝාතකයා අතට පත් කළ බව ඇය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙහෙල්බද්දර පද්ම විසින් තමා යුරෝපයට පිටත් කර හරින තෙක් තමන් නේපාලයේ සැඟව සිටි බවද ඉෂාරා සෙව්වන්දි පවසා ඇතැයි පොලිසිය කියා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval