chamari-snatches-victory-from-bangladesh-for-sri-lanka

 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට බංග්ලාදේශ කණ්ඩායමට සිදු විය. ඒ, සඳුදා නවි මුම්බායි හි ඩී.වයි. පටීල් ක්‍රීඩාංගණයේ පැවති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලකුණු 7ක තියුණු පරාජයක් ලැබීමත් සමගිනි.



මෙම ත්‍රාසජනක ජයග්‍රහණයේ නියමුවරිය වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, ලොව සිටින විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස තමන් සතු කීර්ති නාමය නැවතත් සනාථ කළාය. තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ඇය, බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 9 ආරක්ෂා කරමින් එම පන්දුවාරය තුලදීම කඩුලු 3ක් දවා ගත්තේය.

අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණක් වන අතර, චමරි අතපත්තු ලකුණු 42කට කඩුලු 4ක් ලෙස සිය පන්දු යැවීම අවසන් කළාය. ලකුණු 203ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය, නායිකා නිගාර් සුල්තානා ජෝති (ලකුණු 77) සහ ෂර්මින් අක්තර් සුප්තා (නොදැවී ලකුණු 64) අතර ගොඩනැගුණු ලකුණු 82ක සබඳතාවය හේතුවෙන් 48 වැනි පන්දුවාරය වන තෙක් ජයග්‍රාහී මාවතේ රැඳී සිටියේය.




කෙසේ වෙතත්, සුප්තා ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමත්, ලකුණු 19ක් ලබා සිටි ෂෝර්නා අක්තර්, චමරි අතපත්තුගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමග තරගයේ පීඩනය බංග්ලාදේශය වෙත යොමු විය. ඊට පෙර ක්‍රියාත්මක වූ 49 වැනි පන්දුවාරයේදී සුගන්ධිකා කුමාරි විසින් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 3ක් පමණක් වීමද පීඩනය තවත් වැඩි කිරීමට හේතු විය.

අවසන් පන්දුවාරය ආරම්භ වන විට බංග්ලාදේශය අත කඩුලු 5ක් ඉතිරිව තිබුණද, නායිකා චමරි අතපත්තුගේ අති විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුන්ට ජයග්‍රහණය අහිමි විය. තරගයට පෙර ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක 'සාමාන්‍ය මුම්බායි තණතීරුවක' වාසිය අපේක්ෂා කළ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

කෙසේ වෙතත්, තරගයේ පළමු පන්දුවෙන්ම විශ්මි ගුණරත්න ලකුණු නොලබා දැවී යාමෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වූයේ දුර්වල අයුරිනි. අනතුරුව පිටියට පිවිසි හසිනි පෙරේරා, සිය මංගල ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 99කදී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 85ක් රැස් කිරීමට සමත් විය.




ඇය නායිකා අතපත්තු සහ නිලක්ෂිකා සිල්වා සමග එක්ව වැදගත් සබඳතා දෙකක් ගොඩ නැගීය. 32 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 174ක් ලෙස ප්‍රබල තත්වයක පසු වූ නමුත්, අවසන් කඩුලු 6 ලකුණු 28ක් තුල බිඳ වැටීම නිසා ඉනිම ලකුණු 202කට සීමා විය.

බංග්ලාදේශය වෙනුවෙන් පා දඟ පන්දු යවන ක්‍රීඩිකාවන් වන ෂෝර්නා අක්තර් ලකුණු 27කට කඩුලු 3ක් සහ රබෙයා ඛාන් ලකුණු 39කට කඩුලු 2ක් දවා ගනිමින් ශ්‍රී ලංකා මැද පෙළ බිඳ දැමූහ. සියලුම ක්‍රිකට් ආකෘති හරහා තරග 143කට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව සිය පළමු ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ හසිනි පෙරේරා, ශතකයක් කරා යමින් සිටියදී ෂෝර්නාගේ පන්දුවක් හමුවේ දැවී ගියාය.

එම දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිම ලකුණු 250 සීමාව පසු කරවීමේ බලාපොරොත්තුවද බිඳ වැටුණි. තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම පිළිබඳව බංග්ලාදේශ ක්‍රීඩිකාවන් මෙම තරගයට පෙර සුබවාදීව පසු වුවද, මෙම අනපේක්ෂිත පරාජයත් සමග ඔවුන්ගේ එම බලාපොරොත්තු සියල්ල සුන් වී ගියේය.