දඹුල්ල, රත්මල්ගහඇළ කනිෂ්ඨ විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු, විද්‍යාගාරයේ තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ තවරා ගැනීම හේතුවෙන් අද (07) දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව දඹුල්ල පොලීසිය පවසයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පිරිමි දරුවන් පස් දෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකි. පසුගිය නිවාඩු දිනවලදී විද්‍යාලයේ විද්‍යාගාරයට කඩා වැදුණු රිළා රංචුවක් එහි තිබූ උපකරණ සහ රසායනික ද්‍රව්‍ය විසිරුවා හැර තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි සහකාර පොලිස් අධිකාරී එම්. එස්. කේ. වික්‍රමනායක මහතා සඳහන් කළේය.
එම අවස්ථාවේදී විද්‍යාගාරයේ බිම විසිරී තිබූ රතු පැහැති ද්‍රව්‍යයක්, මිරිස් කුඩු යැයි වරදවා වටහාගත් මෙම සිසුන් පිරිස එය දිවේ ගා රස බලා ඇති බව පොලිසිය කියයි. කෙසේ වෙතත්, මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සිසුන් විසින් රස බලා ඇත්තේ යකඩ හඳුනා ගැනීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් බව සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය වාර්තා වීමත් සමඟ දඹුල්ල සහකාර පොලිස් අධිකාරී එම්. එස්. කේ. වික්‍රමනායක සහ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් දරුවන්ගේ සුවදුක් විමසීම සඳහා රෝහල වෙත ගොස් තිබේ. රෝහල්ගත කළ දරුවන් මේ වන විට ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval