150-million-rupees-in-36-accounts-of-sajika-the-sister-father-and-relatives-of-bako-samans-wife

 මුදල් විශුද්ධිකරණ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 'බැකෝ සමන්' නැමැත්තාගේ බිරිඳ වන සාජිකා ලක්ෂානිගේ පවුලේ ඥාතීන්ට අයත් බැංකු ගිණුම් 36ක් තුළ රුපියල් මිලියන 147කට අධික මුදලක් සංසරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (ඔක්. 23) අධිකරණයට හෙළි කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ මෙම කරුණු වාර්තා කළාය.



සැකකාරියගේ සහෝදරිය, පියා සහ අනෙකුත් ඥාතීන්ට අයත් මෙම ගිණුම්වලට මුදල් තැන්පත් කළේ කවුරුන්ද යන්න සහ එම මුදල් ලැබුණු මූලාශ්‍ර පිළිබඳව සොයා බැලීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය.




මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය, ඇයගේ සැමියා වන බැකෝ සමන් සහ ඇයගේ පියා විමර්ශන නිලධාරීන්ට ලබා දී ඇති ප්‍රකාශ එකිනෙකට පරස්පර වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නාය. ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයට ලබාදුන් ප්‍රකාශ අතර මෙම පරස්පරතා පවතින බැවින් විමර්ශන දැඩි සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇතැයි ඇය පැවසුවාය.

විමර්ශන ප්‍රගතිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇය සඳහන් කළේ, අදාළ ගිණුම් 36 තුළ ස්ථිර 'ටෝටල් එකතුවක්' නොපෙන්වන නමුත්, විශාල ගණන්වලින් මුදල් සංසරණය වීම් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවය. එම මුදල් කුමන අරමුණකින් ගිණුම්ගත කර ඇත්දැයි විමර්ශනය කළ යුතු බවද ඇය කියා සිටියාය.

සැකකාරිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 13ක් පමණ සටහන් කරගෙන ඇති අතර, තාක්ෂණික ක්‍රමවේද ඔස්සේද පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව පැවසිණි. සැකකාරිය ශ්‍රී ලංකාව හැර යාමට පෙර භාවිත කළ දුරකතනය සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, ඇයගේ ඊමේල් ලිපිනය හරහා අදාළ දත්ත ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැන්වීය.

සැකකාරියට ඇප ලබා දීමට පැමිණිල්ල දැඩි විරෝධය පළ කළේය.


සැකකාරිය රතු නිවේදන නිකුත් කර සිටි පුද්ගලයන් ඇසුරු කර ඇති බවත්, ඇය මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ඇසින් දුටු සාක්ෂි නොමැති වීම වැනි කරුණු නිසා මෙම මූල්‍ය විමර්ශනය සංකීර්ණ කාර්යයක් වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය. සැකකාරියට එරෙහිව පැහැදිලි සාක්ෂි නොමැති බවට විත්තිය නගන චෝදනාව බැහැර කළ ඇය, විමර්ශන සඳහා තවදුරටත් කල් ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත්, සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්මාල් රත්නායක මහතා තර්ක කළේ, විමර්ශන නිලධාරීන් මේ දක්වා ඉදිරිපත් කළ බී වාර්තා මගින් සැකකාරියට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය. එබැවින් සුදුසු ඕනෑම ඇප කොන්දේසියක් මත ඇය මුදා හරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරිය ඔක්තෝබර් 31 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. එමෙන්ම, බන්ධනාගාරය තුළදී සැකකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. සැකකාරියට ඇප ලබා දීම සම්බන්ධයෙන් වන තීරණය ඊළඟ නඩු දිනයේදී සලකා බලන බවද මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.