මෑතකදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් "බැකෝ සමන්" හෙවත් සමන් කුමාර නමැත්තාට අයත් බවට හඳුනාගත් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් සිය භාරයට ගෙන තිබේ. මෙම බස් රථ දේපළෙහි සමස්ත වටිනාකම රුපියල් කෝටි අටකට අධික බවට පොලිසිය විසින් තක්සේරු කර ඇත.
අත්අඩංගුවට ගත් එක් බස් රථයක් විදේශීය සංචාරකයින් ප්‍රවාහනය කිරීමේ සේවාවක් සඳහා යොදවා තිබියදී කටුනායක ප්‍රදේශයේදී සොයාගෙන ඇත. රුපියල් කෝටි පහමාරක් පමණ වටිනා බව කියන එම බස් රථය, කටුනායක පිහිටි පෞද්ගලික ප්‍රවාහන ආයතනයකට ලබා දී තිබූ බවට තොරතුරු වාර්තා වේ.
අනෙක් සුඛෝපභෝගී බස් රථය මොනරාගල සහ කොළඹ අතර මගී ප්‍රවාහන සේවයේ නිරතව තිබී ඇත.
රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා එම බස් රථය, සිය ධාවන වාරය ආරම්භ කිරීම සඳහා කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම බස් රථ දෙකම "බැකෝ සමන්" විසින් වෙනත් පුද්ගලයින්ගේ නම් භාවිත කරමින් මිලදී ගෙන ඇති බවයි. මින් එක් බස් රථයක් ඔහු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමට සති දෙකකට පමණ පෙර මිලදී ගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ එම කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval