14-large-police-chairs-are-shaking

 ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයකට අනුව, කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙකු ඇතුළු ශ්‍රී ලංකා පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දාහතර දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.



මෙම නව පත්කිරීම් යටතේ, සුබසාධක දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජී.එන්. ද සොයිසා මහතා, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත. මීගමුව කොට්ඨාසයේ සේවය කළ කේ.ඩී.ජී.එල්.ඒ. ධර්මසේන මහතා මත්ද්‍රව්‍ය දිසාව භාරව පත් කෙරුණු අතර, එම තනතුරේ කටයුතු කළ ඕ. හේවාවිතාරණ මහතා කෑගල්ල දිසාව සඳහා මාරු කර යවා තිබේ.



වවුනියාව සහ මන්නාරම දිසාවන්හි සේවය කළ එස්.ඩී. විජේසේකර මහතා බස්නාහිර පළාත (දකුණ) දිසාව භාරවද, නීති දිසාවේ කටයුතු කළ ජේ.ඒ.කේ. ජයසිංහ මහතා බස්නාහිර පළාත (උතුර) දිසාව භාරවද පත් කර ඇත. රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාරව සිටි ඒ.අයි. හපුගොඩ මහතා වවුනියාව සහ මන්නාරම දිසාවන් සඳහා පත් කර තිබේ.

ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ ලෙස ඩී.එම්.එම්.ඒ.බී. මහගිරිල්ල මහතා පත් කෙරුණු අතර, එම තනතුරේ සිටි ඩබ්.ජේ.එන්. සේනාරත්න මහතා නීති දිසාව භාරව පත් කර ඇත. මීට අමතරව ඩබ්.ටී. ගිනිගේ මහතා මඩකළපුව දිසාව භාරවද, ඩබ්.එස්.පී. ද සිල්වා මහතා ප්‍රවර්ධන දිසාව භාරවද, කේ.ඒ.ජේ. කොඩිතුවක්කු මහතා මධ්‍යම අපරාධ විශේෂ කාර්යාංශ දිසාව භාරවද නව තනතුරුවලට පත් කර තිබේ.

මෙම ස්ථාන මාරු අතරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙකුද ඇතුළත් වීම විශේෂත්වයකි. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාවේ සේවය කළ කාන්තා නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ආර්. ජයසුන්දර මහත්මිය රත්නපුර දිසාව භාරව පත් කර ඇති අතර, ඇය දැරූ තනතුර සඳහා ආර්.ඒ.ඩී. කුමාරි මහත්මිය පත් කර ඇත. ඊට අමතරව සුබසාධක දිසාවේ රාජකාරි ආවරණය කිරීමේ වගකීමද ඇයට පවරා තිබේ.